විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “හෝමගම ගගන” නමැත්තාගේ වෙඩික්කරු ලෙස ක්‍රියාකළ බවට සැක කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හෝමාගම පිටිපන ප්‍රදේශයේදී ඊයේ (28) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්ය.
සැකකරු සතුව තිබී ඔස්ට්‍රියාවේ නිෂ්පාදිත ගිනි අවියක්, මැගසිනයක් සහ උණ්ඩ 05ක්ද සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 41 හැවිරිදි කොඩිතුවක්කු කම්කානම්ගේ ලසන්ත නොහොත් “අංජු” නමැත්තාය.
සැකකරු හෝමාගම, පාදුක්ක, හංවැල්ල, මීගොඩ, කොස්ගම සහ නවගමුව ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම් කිහිපයකට සම්බන්ධ විය හැකි බවට සැක පළ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
තවද, ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ සිටින බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කොණ්ඩ රංජිත්” නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අතරතුර ලබාගත් තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද පොලීසිය සඳහන් කරයි.
එම ජාලය හරහා මේ වනවිට සැකකරුවන් පස්දෙනෙකු සහ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 50කට ආසන්න හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 37ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායම් විසින් සිදු කර ඇත.
