අලුත්ගම ලංගම ඩිපෝවේ බස් රථයේ රියදුරාට සහ කොන්දොස්තරවරයාට හැටන් බස් නැවතුම්පොළේදි පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් කිහිප දෙනෙකු විසින් බැන තර්ජනය කර පහර දීමට තැත් කර, බස් රථය ධාවනය කිරිමට අවහිර කිරිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් (20) දින ඉදිරිපත් කරන බව හැටන් ලංගම ඩිපෝවේ කළමණාකාර පාලිත විරසූරිය මහතා පැවසීය.
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ වතුකරයේ ජනතාව ආපසු රැකියා ස්ථානවලට යෑමට ප්‍රමාණවත් බස් රථ හැටන් ලංගම ඩිපෝව සතු නොවන නිසා කොළඹ බස් නැවතුම්පොලේ සිට වෙනත් ලංගම ඩිපෝවල බස් රථ කිහිපයක් හැටන් බස් නැවතුම්පොළ වෙත පසුගිය දින කිහිපය තුලම එවා තිබු බවයි ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ.
එසේ පැමිණි අලුත්ගම ඩිපෝවේ බස් රථය හැටන් බස් නැවතුම්පොලේ සිට (19) දින උදෑසන 7:20ට කොළඹ දක්වා ධාවනය කිරිමට සූදානම් වූ එම බස් රථය හැටන් සිට මහනුවර දක්වා ධාවනය වන හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ වේලා සටහන්කරුගේ බස් රථය හරස් කර එම බස් රථය ධාවනය කිරිම අවහිර කර එම ලංගම බස් රථයේ රියදුරාට සහ කොන්දොස්තරවරයාට පෞද්ගලික බස් රථයේ රියදුරු, කොන්දොසතරවරු ඇතුලු පෞද්ගලික බස් නැවතුම්පොලේ පිරිසක් බැනවැද තර්ජනය කර පහර දීමට තැත් කර ඇති බවයි ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ.
වෙනත් ඩිපෝවල සිට හැටන් බස් නැවතුම්පොළ වෙත පැමිණෙන බස් රථ ආපසු කොළඹට ආරක්ෂිතව පිටත් කර යැවීම තම වගකීම බවයි ඩිපෝ කළමණාකාරවරයා වැඩි දුරටත් කියා සිටියේ.
