පවතින උණුසුම් කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි මාසය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අතිරේක කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මහතා පැවසුවේ නිරිත දිග මෝසම මැයි මාසයේ අග ක්‍රියාත්මක වීමට නියමිත බැවින් එම කාලය තුළ පවතින උණුසුම් කාලගුණය තරමක් පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවය.
පවතින තත්ත්වය තුළ අප්‍රේල් සහ මැයි මාසය දක්වා උණුසුම් කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙන බවත් පැවසූ ඒ මහතා පැවසුවේ ඒ අනුව අප්‍රේල් මාසයේත් දැඩි උණුසුම් තත්ත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපානු ඇති බවය.
මේ වන විට ආරම්භ වී ඇත්තේ පළමු අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය බව පෙන්වා දුන් ඒ මහතා මේ වන විට නිෂ්චිත දිසාවකින් සුළං හැමීමක් නොමැති බවත් සුළඟේ වේගය ද ඉතාමත් අඩු බවද සඳහන් කළේය.
එමෙන්ම මෙම කාලය තුළ සූර්යා මුදුන්ව පැවතීම සහ වළාකුළු අඩුවීම තුළින් මුහුද සහ ගොඩබිම රත්වීම තුළින් තාප තරංග නිකුත් කිරීම් සිදුවන බවත් ඒ හරහා වායුගෝලය උණුසුම් වීම සිදුවනු ඇති බවත් සඳහන් කළේය.
තවද උණුසුම් කාලගුණය දවසේ උදෑසන 11 සිට සවස 4 දක්වා වූ කාලය තුළ තදින්ම ඇතිවන බවත් පැවසූ ඒ මහතා එම කාලය තුළ එළිමහන් ක්‍රියාකාරකම් හැකිතාක් අවම කිරීමත් නිරන්තර ජලය පානය කිරීම වැදගත් බවත් පැවසීය.
