ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට බිත්තර සහ කුකුළු මස් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
මෙරට බලශක්ති පිරිවැය ඉහළ යාම හමුවේ බිත්තරයක මිල රුපියල් 40ක් දක්වාත්, හම සහිත ශීත කළ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් පමණත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.
වෙළෙඳපොළේ මේවන විට කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 37/-කටත්, මධ්‍යම ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 39/-කටත්, ලොකු (රතු) බිත්තරයක් රුපියල් 41/-කටත් අලෙවි වනු ඇති.
ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාම කුකුළු ගොවිපොළ කටයුතුවලට අසාමාන්‍ය ලෙස බලපා ඇති බවයි. විශේෂයෙන්ම කුඩා පැටවුන් උණුසුම් කිරීම සඳහා ගෑස් භාවිත කරන අතර, ඉන්ධන පිරිවැය ඉහළ යාම ප්‍රවාහන හා නිෂ්පාදන පිරිවැය කෙරෙහි සෘජුවම බලපා ඇත.
මේ වන විට හම සහිත කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1,200 ත් 1,250 ත් අතර මට්ටමකට ඉහළ ගොස් තිබේ. මෙරට මාසික කුකුළු මස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 22,000ක් වන අතර දිනකට මෙට්‍රික් ටොන් 700ක් පමණ වෙළෙඳපොළට නිකුත් කෙරේ.
