ඔස්ට්‍රේලියාවේ රෝහලක කළ සැත්කමක් අතරතුරදී ලොව පළමුවරට මිනිසෙකුගේ මොළය තුළ තිබී සජීවී පණුවෙකු හමුවී තිබුණි.
මෙම සැත්කම සිදුකර ඇත්තේ එරට සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකි.
ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරින් වාර්තා වන මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ 64 හැවිරිදි කාන්තාවකි.
ඇයගේ පූර්ව මස්තිෂ්කයේ හානිවූ පටක අතර තිබී මෙම රතු පැහැති පරපෝෂිතයා සොයාගෙන ඇත්තේ කැන්බරා හිදී පසුගිය වසරේ සිදුකළ සැත්කමක් අතරතුරදී ය.
මෙසේ හමුවූ සෙන්ටිමීටර් 8ක් දිගැති ඔෆිඩස්කාරිස් රොබට්සි නමැති වට පණුවා මාස දෙකක පමණ කාලයක් ඇයගේ මොළය තුළ සිට ඇති බව වෛද්‍ය නිගමනය වෙයි.
මෙම පරපෝෂිත විශේෂය ඔස්ට්‍රේලියානු විෂ රහිත කාපට් පිඹුරන්ගේ සිරුරේ බහුලව හමුවෙයි.
පිඹුරන්ගේ මළපහවලින් දූෂිත වූ කොළ වර්ගයක් පිසීමෙන් තොරව ආහාරයට ගැනීමෙන් පරපෝෂිත බිත්තර ඇයගේ සිරුර තුළට යන්නට ඇතැයි විද්‍යාඥයින් සැක පළ කරයි.