චීනයට මෙම මාසයේදී කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ලවනු ඇතැයි එරට කාලගුණ බලධාරීන් පුරෝකථනය කර තිබේ.
ඔවුන් පවසන්නේ අගෝස්තු මාසයේදීත් චීනයට සුළි කුණාටු 03ක පමණ බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බවය.
ඒ හමුවේ උතුරු හා දකුණු දිග චීනයට දැඩි ගංවතුර තත්ත්වයන් ද බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.
චිනයේ කාලගුණ බලධාරීන් මෙම අනතුරු ඇගවීම් සිදුකර ඇත්තේ මේ වනවිටත් චීනයේ ප්‍රදේශ රැසක් ගංවතුරෙන් ආපදාවට ලක්වී ඇති පසුබිමක් තුළය.
ඉකුත් සතියේ බලපෑ සුළිකුණාටුව හමුවේ චීනයේ බීජිං හා හෙබෙයි පළාතට දැඩි බලපෑම් එල්ල වුණි.
දේපළ රැසක් විනාශ වූ අතර මරණ ද වාර්තා විය.
මෙම වසරේ ගතවූ කාලය තුළ චීනයට කාලගුණ විපර්යාස හමුවේ දැඩි බලපෑම් එල්ල වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඒ අනුව වසර 140 කට පසු චීනයෙන් වාර්තා වූ ඉහළම වර්ෂාපතනයත් සමග හටගත් ජලගැලීම් ඇතුළු ස්වභාවික ආපදාවලින් මියගිය පිරිස 20 ඉක්මවා ගොස් තිබේ.
අතුරුදන් වූ පිරිස 27 කි.