ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් සිව්දෙනෙක් මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

කන්තලේ, ඇහැලියගොඩ, මාවතගම සහ මාතලේ යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

කන්තලේ – සේරුනුවර මාර්ගයේ කන්තලේ ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් යතුරු පැදිකරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු කන්තලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මේ අතර ඇහැලියගොඩ – හිදුරංගල මාර්ගයේ ඇරෑපල ප්‍රදේශයේ දී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබේ.

එහිදි බරපතළ තුවාල ලැබු යතුරුපැදියේ පැදිකරු ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි අයෙක්.

මේ අතර මහනුවර – කුරුණෑගල මාර්ගයේ මාවතගම වෑඋඩ ප්‍රදේශයේ දී ලොරි රථයක ගැටීමෙන් පදිකයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

දඹුල්ල – මහනුවර මාර්ගයේ මාතලේ රජවීදිය ප්‍රදේශයේදී ද ලොරි රථයක පදිකයෙකු ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු පදිකයා මාතලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මියගොස් ඇත්තේ උකුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි අයෙක්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *