පහළොස් හැවිරිදි සිසුවියක් කෙලෙසු කොන්දොස්තරට වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්

තමා සේවය කළ බස් රථය තුළ දී 15 හැවිරිදි පාසල් සිසුවියක බරපතළ ලෙස දූෂණය කල කොන්දොස්තරවරයෙකුට වසර 30 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.

පහලොස් හැවිරිදි පාසල් සිසුවියක විවහා කර ගන්නා බවට පොරොන්දු ලබා දී ඇය රවටා ගෙන ගොස් ලැගුම් හල්වලදී සහ තමා සේවය කල පෞද්ගලික බස් රථය තුළ දී වරින් වර දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටි පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයෙකු එකී චෝදනාවන්ට වරදකරු බවට අධිකරණය නියම කර ඇත.

උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ සහ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ හිටපු විනිසුරු සහ දකුණු පළාත් බද (මාතර) සිවිල් අභියාචනා මහාධිකරණයේ වත්මන් විනිසුරු ගියාන් චන්ද්‍ර රනවක මහතා විසින් වැරදිකරුට වසර 30 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ඊයේ (1) නියම කර තිබේ.

ඊට අමතරව පැමිණිකාර තැනැත්තියට මුදලින් රුපියල් තුන් ලක්ෂ පන් දහසක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කල මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් මාස 48 ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය.

ඊටද අමතරව මුදලින් රුපියල් දහනව දහසක දඩ මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට තවදුරටත් නියෝග කල මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් ලිහිල් වැඩ සහිත මාස 94 ක සිර දඬුවමකටද යටත් කෙරිණ.

මෙසේ දඬුවම් නියම වූයේ කහටගස්දිගිලිය පහල කුඩාපට්ටිය ප්‍රදේ‍ශයේ පදිංචි විවාහක පුද්ගලයෙකුටය.

විත්තිකරුට දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරු ගියාන් චන්ද්‍ර රනවක මහතා සඳහන් කර ඇත්තේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවයි.

මෙම විත්තිකරු හොරොව්පොතාන සිට අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා ලෙස සේවය කර ඇති අතර මෙම නඩුවේ පැමිණිලිකාර 15 හැවිරිදි දැරිය එම බස් රථයෙන් වරින් වර පාසල් සහ උපකාරක පංති සඳහා ගමන් කර ඇති බව අධිකරණ නඩු විභාගයේ දී අනාවරණ විය.

ඒ අතරතුර විත්තිකාර කොන්දොස්තරවරයා තමන් අවිවාහක බව පවසා ඇය සමඟ ප්‍රේම සබඳතාවයක් ඇති කර ගෙන පාසල් සිසුවිය විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබා දී ඇති බවද නඩු විභායේ දී පැවසීය.

එසේ පවසා දැරිය රවටා විත්තිකරු සේවය කරන බස් රථය තුළ දී සහ විවිධ ස්ථානවල ලැගුම් හල්වලට දැරිය රැගෙන ගොස් වරින් වර අවස්ථා ගණනාවක දී ඇය බරපතළ ලෙස දූෂණය කර ඇති බව ද අධිකරණයේ දී හෙලි විය.

විත්තිකරු විසින් බරපතළ ලෙස සිසුවිය දූෂණය කර ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.ඒ.කරුනාතිලක මහතා මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තාව මඟින් ද තහවුරු කර තිබිණ.

සිද්ධිය පිළිබඳ මූලික විමර්ශන කහටගස්දිගිලිය පොලීසිය මඟින් මෙහෙයවා තිබූ අතර නඩුවේ ලඝු නොවන මූලික විභාගය කහටගස්දිගිලිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති අතර වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යොමු කර තිබිණ.

2011 වසරේ ජූලි මස 10 වන දින හෝ ඊට ආසන්න දින කිහිපයකදී අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් කහටගස්දිගිලියේදී විත්තිකරු මෙම අපරාධය සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 364 (2) (ඉ) සහ 354 වගන්ති ප්‍රකාරව විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ නඩු පවරනු ලැබූවේ 2017 වසරේ අප්‍රේල් මස 24 වන දිනය.

මෙම සිද්ධියට අදාල නඩුවේ විභාගය අවසන් කර එහි තීන්දුව ලබා දුන්නේ පසුගිය 29 දා වන අතර අදාල දඬුවම් නියෝගය බලාත්මක වන්නේ ඊයේ (1) දින සිට ක්‍රියාත්මක වන පරිදිය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ අග්බෝ පන්ඩිතරත්න මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ තුෂාරි විජේනායක මහත්මිය පෙනී සිටියාය.

මහාධිකරණ විනිසුරු ගියාන් චන්ද්‍ර රනවක මහතා උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ සහ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරුවරයාව සිටියදී මෙම නඩුවේ විභාගය අවසන් කර තිබූ අතර අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යළි පැමිණි එහි තීන්දුව මෙලෙස ලබා දෙනු ලැබීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *