මාලිගාවත්තේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ඇතුළු 6 දෙනා රිමාන්ඩ්

මාලිගාවත්ත, ජුම්මා මජිඩ් මාවත ප්‍රදේශයේ දේවස්ථානයක් අසල ආධාර බෙදාදීමක දී ඇතිවූ තෙරපීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ව්‍යාපාරිකයා සහ පුද්ගලයින් හය දෙනා ජූනි 4 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

ඊයේ (21) කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ ආධාර බෙදාදීමක දී ඇතිවූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු ජීවිතක්ෂයට පත්විය.

පොලිසිය පැවසුවේ, ප්‍රදේශයේ දානපති ව්‍යාපාරිකයෙකු මෙම ආධාර බෙදාදීම සිදුකර ඇත්තේ ඇඳිරි නීති කාලය තුළදී බවයි.

තෙරපීමට ලක්වූ තවත් පිරිසක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ආධාර බෙදාදුන් ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ආධාර බෙදාදීම සිදුකර ඇත්තේ, කොළඹ මාලිගාවත්ත ජුම්මා මස්ජිද් මාවතේ පිහිටි දරුසලාම් විද්‍යාලය අසළ නිවසකදීයි.

පස්වරු දෙකට පමණ අදාළ ස්ථානයට පැමිණෙන ලෙස කර තිබූ දැනුම්දීමකට අනුව ප්‍රදේශවාසීන් 300ක් පමණ අදාළ නිවස අසළට රැස්ව තිබේ.

පොලිසිය පැවසුවේ, රාමසාන් උත්සවය වෙනුවෙන් මුදල් ආධාර ලබාගැනීමට පැමිණි පුද්ගලයින් අතර ආරවුල් ඇතිව තිබූ බවයි.

එහිදී ඇතිවූ තදබදයත් සමඟ වයස්ගත කාන්තාවන් සිව්දෙනකු බිම වැටී තිබේ.

මෙම සිද්ධිය අසල තිබූ සී සී ටී වී කැමරාවක සටහන්ව තිබුණි.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී කාන්තාවන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිව්දෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර තවත් පස්දෙනකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය සහ සෞඛ්‍ය ආරක්ෂන ක්‍රමවේද නොසළකා අදාළ පුද්ගලයින් මෙම අවස්ථාව සංවිධානය කර තිබූ බව පොලිසිය පවසයි.

එමෙන්ම ආධාර බෙදාදීමේ වැඩසටහන සඳහා කිසිදු අවසර පත්‍රයක් ලබාගෙන නොමැති බව ද පොලිසිය ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා සහ තවත් පුද්ගලයින් පස්දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධිය වූ ස්ථාන අද පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා මෙරන්ජි සිල්වා මහත්මිය නිරීක්ෂණය කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *