ලෝක ටෙස්ට් ශූරතාවලියට හෝල්ඩිංගෙන් බවුන්සරයක්

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෑත කාලීන උත්සාහය වන ලෝක ටෙස්ට් ශූරතාවලිය “විගඩමක්” යයි බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන මයිකල් හෝල්ඩිං මහතා කියයි. මේ වන විට ලොව පිළිගත් රූපවාහිනී විස්තර විචාරකයකුද වන මයිකල් හෝල්ඩිං මහතා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් පැවැති වටමේස සාකච්ඡාවකදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම තරගාවලිය දැඩි ලෙස විවේචනය කර තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය වසර 2019 දී ආරම්භ කරන ලද්දේ ද්විපාර්ශ්වික තරගාවලි සඳහා වැඩි පිළිගැනීමක් ලබාදීමේ අරමුණ ඇතිවය. මයිකල් හෝල්ඩිං මහතාගේ දැඩි විවේචනයට ලක්ව ඇත්තේ එහි ප්‍රසාද ලකුණු පිරිනමන පිළිවෙලයි. එනම් තරගාවලියකට ලැබෙන ලකුණු සංඛ්‍යාව 120 ක් වීමයි.

කෝවිඞ් – 19 වයිරසයේ බලපෑමෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් පැවැති වටමේස සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් වැදගත් අදහස් රැසක් ගෙනහැර පා සිටින මයිකල් හෝල්ඩිං මහතා තරග 2 කින් යුත් තරගාවලි පැවැත්වීම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඉතාම වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරන බවද පවසා තිබේ.

“මේක හරියන වැඩක් නෙමේ..”
“ඉස්සරවෙලාම කියන්න ඕන දේ තමයි මේ ප්‍රසාද ලකුණු දෙන පිළිවෙල නම් හරිම විගඩමක් කියන එක. තරග 5 කින් සමන්විත තරගාවලි ක්‍රීඩා කළත් තරග දෙකින් ලබාගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය ගන්න බෑ” යයි කී හෝල්ඩිං මහතා…

“තරගාවලිය අතරමැදදී… ඒ කියන්නේ අනෙක් කණ්ඩායම් වැඩි ප්‍රසාද ලකුණු පරතරයකින් ඉදිරියෙන් සිටින අවස්ථාවකදී, කොයි යම් කණ්ඩායමකට හරි තේරෙනවා නම් අපට මේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්න බෑ කියලා… ඔවුන් ඒ තරගාවලියේ රැඳී සිටීමේ අරමුණ මොකක්ද..” යයි මහතා ප්‍රශ්න කරයි

“ඒ ටෙස්ට් තරග වලින් ඒ තරම් වින්දනයක් ලැබෙන්නේ නෑ. මිනිස්සු දන්නවා ඒක නිකම්ම නිකම් තරග බව” යයිද පැවසීය.

මෙම වටමේස සාකච්ඡාවට එක්වූ එංගලන්ත වේග පන්දු යවන්නා වන ක්‍රිස් වෝක්ස් පැවසුවේ මෙම ප්‍රසාද ලකුණු ක්‍රමය ඉදිරියේදී කිසියම් වෙනසකට ලක්විය යුතු බවයි.

කොදෙව් නායක ක්ලයිව් ලොයිඞ් යුගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලේ වේගවත්ම පන්දු යවන්නා වූයේ මයිකල් හෝල්ඩිංය. 80 දශකයේදී පැයට කිලෝ මීටර 140 ඉක්මවන වේගයකින් පන්දු යැවූ හෝල්ඩිං හඳුන්වන ලද්දේ ‘ජැමෙයිකාවේ ඊතලය’ ලෙසිනි. වේග පන්දුවෙන් ලෝකයේම පිතිකරුවන් භීතියට පත්කළ ඇන්ඩි රොබට්ස්, ජොයෙල් ගානර් සහ මැල්කම් මාෂල් හෝල්ඩිංගේ සහායක වේග පන්දු යවන්නෝ වූහ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පිරිනැමීම සම්බන්ධයෙන් හෝල්ඩිං මහතාට ඇත්තේ පැහැදිළි තර්කයකි.

තරග 5 කින් සමන්විත තරගාවලියකදී තරගයක් ජයගැනීම වෙනුවෙන් ප්‍රසාද ලකුණු 24 ක් හිමිවන නමුත් තරග දෙකකින් සමන්විත තරගාවලියකදී තරගයක් ජයගැනීම වෙනුවෙන් ලකුණු 60 ක් ලබාගත හැකිය. තරග 3 කින් සමන්විත තරගාවලියකදී ජයග්‍රහණයක් වෙනුවෙන් ලකුණු 40 ක් පිරිනැමේ. එහෙත් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වන්නේ නම් ජයග්‍රහණයක් සඳහා නියමිත ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් තුනෙන් එකක් බැගින් දෙපිලටම හිමිවේ.

ඒ අනුව තරග 5 කින් සමන්විත තරගාවලියකදී 1-0 ක ජයග්‍රහණයක් ලබාගන්නා ජයග්‍රාහී කණ්ඩායමකට හිමිවන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව තරග දෙකකින් සමන්විත තරගාවලියක් 1-1 ක් ලෙසින් අවසන් වීමේදී දෙපිලටම හිමිවන ලකුණු සංඛ්‍යාවට වඩා අඩුය.

තරග 5 කින් සමන්විත තරගාවලියක් 1-0 කින් ජයගන්නා කණ්ඩායමට හිමිවන්නේ ලකුණු 56 කි. ඒ ජය පරාජයෙන් තොරව නිමා වූ තරග 4 කට ලකුණු 32 ක් සහ ජයගත් තරගය වෙනුවෙන් ලකුණු 24 ක් වශයෙනි. එහෙත් තරග දෙකකින් සමන්විත තරගාවලියක් 1-1 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව නිමා වුවහොත් එක් පිලකට ප්‍රසාද ලකුණු 60 ක් ලැබේ.

මෙම විග්‍රහය අනුව තරග 5 කින් සමන්විත තරගාවලියක් ජයගැනීමට වඩා තරග 2 කින් සමන්විත තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම වාසිදායක වෙයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ව්‍යූත්පන්න (ටෙස්ට් / එක්දින අන්තර්ජාතික /විස්සයි-20 / දහයයි-10 / සය සාමාජික) අතරේ උසස්ම ආකාරය ‘ටෙස්ට් ක්‍රිකට්’ බව ලෝකයේ සියලුම ප්‍රවීන ක්‍රීඩකයන්ගේ ඒකායන මතයයි. ඒ සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නැති අතරම වසර 143 ක සාඩම්බර ඉතිහාසයක් හිමි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම තරගය ලෙසින් වාර්තා වන්නේද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පසුගිය වසරේ (2019) පෙබරවාරි මස ඩර්බන් නුවරදී පැවැති ටෙස්ට් තරගයයි.

මෙම තරගයේදී ලකුණු 304 ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවකදී ලකුණු 226 කට කඩුලු 9 ක් අහිමි කරගෙන සිටියද අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් ජනිත් පෙරේරා (නොදැවී 153) සහ විශ්ව ප්‍රනාන්දු (නොදැවී 06) ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක ජයක් කරා කැඳවාගෙන ගියහ. අනතුරුව පෝට් එළිසබෙත් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් කඩුලු 8 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලි ජයක් ලබාගත් පළමු වැනි ආසියාතික කණ්ඩායම ලෙසින් ඉතිහාස පොතට එක්විය.

කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝක ටෙස්ට් ශූරතාවලිය හඳුන්වාදෙන ලද්දේ එයින් මාස කිහිපයකට පසුවය.

ඕස්ටේ්‍රලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ‘අළු බඳුන’ තරගාවලිය, ඕස්ටේ්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වෙන ‘ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල්’ කුසලාන’ තරගාවලිය මෙන්ම එංගලන්තය සහ කොදෙව් පිල අතර පැවැත්වෙන තරගාවලිය වැනි සාම්ප්‍රදායික ටෙස්ට් තරගාවලි සඳහා විශාල පිළිගැනීමක් තිබේ. එහෙත් රට රටවල් අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික තරගාවලි සඳහා වඩාත් හොඳ පිළිගැනීමක් ලබාදීමේ අරමුණ ඇතිව වසර 2019 දී ලෝක ටෙස්ට් ශූරතාවලිය හඳුන්වාදෙන ලදි.

කෝවිඞ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව වසා දමන අවස්ථාවේදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිටියේ ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග දෙකකින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහාය. එහෙත් කොවිඞ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ බොහෝ රටවල් වසා දැමීමත්, එංගලන්තයේ කොවිඞ් වසංගතය පැතිරීම වඩාත් නරක අතට හැරීමත් හේතුවෙන් එංගලන්ත කණ්ඩායම ආපසු සියරට බලා ගියේය.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු අදියරේ අවසන් මහ තරගය ලබන වසරේ ජූනි මාසයේදී ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් මේ වන විට එය කල්දැමිය යුතුවන තත්ත්වයකට පත්ව තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *