ටෙස්ට් කණ්ඩායම් අතරේ ශ්‍රී ලංකාව පිම්මක් ඉදිරියට

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරිම්වලට අනුව ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් 5 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබේ. වසර එක හමාරකට වැඩි කාලයක් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව 6 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු 91 ක් ලබා 5 වැනි ස්ථානය හිමිකරගෙන සිටී.

මාස 9 කට පමණ ඉහතදී (2019 ජූලි) ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතර 3 වැනි ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාව 6 වැනි ස්ථානය දක්වා පහත වැටී තිබේ.

මේ අතර ටෙස්ට් සහ විස්සයි-20 තරග ආකාර දෙකේම පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වී තිබේ. ඕස්ට්‍රේලියානු කණ්ඩායාම් මෙම උසස් වීමත් සමග 2016 වසරේ සිට ටෙස්ට් ශේණිගත කිරීම්හි පෙරමුණේ පසුවූ ඉන්දියාවටත්, 2018 වසරේ සිට විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණේ සිටි පාකිස්තානයටත් එම ස්ථාන අහිමි වී තිබේ.

ප්‍රසාද ලකුණු 116 ක් හිමිකරගනිමින් ඕස්ට්‍රේලියාව ටෙස්ට් කණ්ඩායම් අතර පෙරමුණට පැමිණ ඇති අතර නවසීලන්තය එහි දෙවැනි ස්ථානයට පැමිණ සිටින්නේ ප්‍රසාද ලකුණු 115 ක් හිමිකර ගනිමිනි. නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ ප්‍රසාද ලකුණු 114 කට හිමිකම් කියන ඉන්දියාවට හිමිවී ඇත්තේ තෙවැනි ස්ථානයයි. කෙසේ වෙතත් කණ්ඩායම් 9 ක් පමණක් සහභාගි වන ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ඉන්දීය කණ්ඩායම පෙරමුණ ගෙන සිටී.

2016-17 තරග වාරය තුළ ටෙස්ට් තරග 12 ක් ජයගෙන තිබූ ඉන්දියාව, එම කාල වකවානුව තුළ පරාජය වී තිබුණේ එක් ටෙස්ට් තරගයක් පමණි. එහිදී ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයට එරෙහිව පැවැති තරගාවලි 2 ක්ද සමගින් එහිදී තරගාවලි 5 ක් ජයගැනීමට ඉන්දියාව සමත් විය.

එම තරග වාරය තුළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එතරම් සාර්ථකත්වයක් නොපෙන්නූ අතර එහිදී ඔවුන් දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව හමුවේ ටෙස්ට් තරගාවලි පරාජයට පත් විය. කෙසේ වුවත් මේ වසර (2020) මුලදී නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී 2-0 ක් ලෙස ඉන්දියාව දරුණු පරාජයකට හිමිකම් කීවේය. එය කොරෝනා වසංගතය ආරම්භ වීමට පෙර ඔවුන් සහභාගි වූ අවසන් ජාත්‍යන්තර තරගාවලියද විය.

මේ අතර ප්‍රසාද ලකුණු 278 ක් හිමිකර ගනිමින් ඕස්ට්‍රේලියාව විස්සයි20 ශේණිගත කිරීම්හි පෙරමුණට පැමිණ ඇති අතර 2011 වසරේදී විස්සය20 ශේණිගත කිරීම් ආරම්භ වීමෙන් පසුව ඕස්ට්‍රේලියාව එහි පෙරමුණට පැමිණි පළමු අවස්ථාවද මෙය විය. එංගලන්තය ප්‍රසාද ලකුණු 268 ක් සමගින් විස්සයි-20 ශේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට පැමිණ සිටින අතර ඉන්දියාව එහි තෙවැනි ස්ථානයට පත්ව සිටින්නේ ප්‍රසාද ලකුණු 266 ක් සමගිනි.

විස්සයි-20 කණ්ඩායම් අතරේ මාස 27 ක් පුරා පෙරමුණේ රැදී සිටි පාකිස්තානයට (ප්‍රසාද ලකුණු 260) නවතම විස්සයි20 ශේණිගත කිරීම්වලට අනුව හිමිව ඇත්තේ සිවුවැනි ස්ථානයයි.

එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර ප්‍රසාද ලකුණු 127 ක් ලබා සිටින එංගලන්තය තවදුරටත් එහි පෙරමුණ රැකගෙන සිටියි. ඉන්දියාව ප්‍රසාද ලකුණු 119 ක් සමගින්ද, නවසීලන්තය ප්‍රසාද ලකුණු 116 සමගින්ද පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති.

ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්
ස්ථානය කණ්ඩායම ලකුණු
1 ඕස්ට්‍රේලියාව 116
2 නවසීලන්තය 115
3 ඉන්දියාව 114
4 එංගලන්තය 105
5 ශ්‍රී ලංකාව 91
6 දකුණු අප්‍රිකාව 90
7 පාකිස්තානය 86
8 බ. ඉ. කොදෙව් 79
9 ඇෆ්ඝනිස්ථානය 57
10 බංග්ලාදේශය 55

එක්දින ශ්‍රේණිගත කිරිම්
ස්ථානය කණ්ඩායම ලකුණු
1 එංගලන්තය 127
2 ඉන්දියාව 119
3 නවසීලන්තය 116
4 දකුණු අප්‍රිකාව 108
5 ඕස්ට්‍රේලියාව 107
6 පාකිස්තානය 102
7 බංග්ලාදේශය 88
8 ශ්‍රී ලංකාව 85
9 බ. ඉ. කොදෙව් 76
10 ඇෆ්ඝනිස්ථානය 55

විස්සයි20 ශ්‍රේණිගත කිරිම්
ස්ථානය කණ්ඩායම ලකුණු
1 ඕස්ට්‍රේලියාව 278
2 එංගලන්තය 268
3 ඉන්දියාව 266
4 පාකිස්තානය 260
5 දකුණු අප්‍රිකාව 258
6 නවසීලන්තය 242
7 ශ්‍රී ලංකාව 230
8 බංග්ලාදේශය 229
9 බ. ඉ. කොදෙව් 229
10 ඇෆ්ඝනිස්ථානය 228

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *