කොරෝනා නිසා බොරතෙල් මිල සියයට 20කින් පහළට

කොරෝනා වෛරසයත් සමඟ උද්ගත වූ වාතාවරණය මත ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සියයට විස්සකින් පහළ වැටී තිබේ.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද දෙරණට ප්‍රකාශ කළේ දිගින් දිගටම මෙලෙස ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ වැටුණහොත් එහි වාසිය මෙරට ජනතාවට ලබාදීමට රජය කටයුතු කරන බවයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තියෙහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර ගුවන් ගමන් , භාණ්ඩ ප්‍රවාහන කටයුතු මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ද අඩපණ වී තිබේ.

2011 වසරෙන් පසු චීනයේ වේගවත්ම උද්ධමනය වාර්තාවූයේද මේ කොරෝනා වෛරසය පැතිරයාමෙන් පසුවයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රෙයන් පහළ යමින් පවතින අතර, ජනවාරි 03 වැනිදා සිට පෙබරවාරි 10 වැනිදා දක්වා ගෙවුණු සති පහ තුළ බොරතෙල් මිල 20 % කින් පහත වැටී තිබේ.

විදෙස් විචාරකයන් පවසන්නේ, 2008 -2009 කාලයේ පැවති ලෝක ආර්ථික අර්බුදය හමුවේ ලෝක බොරතෙල් වෙළඳපොළට ඇති වූ බලපෑමට වැඩි බලපෑමක් කොරෝනා වෛරසය නිසා මතුව ඇති බවයි.

ජනවාරි 03 වැනිදා අමෙරිකානු ඩොලර් 68 ක්ව පැවති බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ දිනය වන විට ඩොලර් 53.48 ක් ලෙස සටහන්ව තිබුණි.

ජනවාරි 03 වැනිදා අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 63 ක්ව පැවති අතර ඊයේ (10) එය සටහන්ව තිබුණේ ඩොලර් 48.52 ක් ලෙසයි.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මෙලෙස ඉහළ ප්‍රතිශතයකින් පහළ යාමේ වාසිය මෙරට ජනතාවටත් හිමිවෙයි ද ?

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *