ඉමදුව ප්‍රා.සභාව උණුසුම් වෙයි

ඉමදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ (කෙසෙල් ඇවරිය) මන්ත්‍රී ඒ.ජී. අරුණ මහතා ඊයේ (21) පැවති ඉමදුව ප්‍රාදේශීය සභාවට කැරට්, රතුළුණු, පොල් බෑගයක්, ගහල අල , පැනඩෝල් පෙති, පාසල් ඇදුම් වව්චර් සහිත මාලයක් පැළද පැමිණීම නිසා ඉමදුව ප්‍රාදේශීය සභාව උණුසුම් විය.

ඒ අතර එක්සත් ජාතික නිදහස් පෙරමුණ (කෙසෙල් ඇවරිය) මන්ත්‍රී ඒ.ජී. අරුණ මහතා සභාවට නොගැළපෙන ලෙස දිනපතා හැසිරෙන බවට ඊයේ (21) පැවති ඉමදුව ප්‍රාදේශීය සභාවේදී පාලක පක්ෂයේ (පොහොට්ටු ශ්‍රීලනිප) මන්ත්‍රීවරු අද සභාවේ දී චෝදනා කළහ.

ඉමදුව ප්‍රාදේශීය සභාව එහි සභාපති ඒ.වී. සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහිදි ඉමදුව ප්‍රාදේශීය සභාව ආරම්භ කර විනාඩි 03කට පමණ පසු සභාවට අරුණ මන්ත්‍රීවරයා පැමිණියේ පැනඩෝල් කාඩ්, පාසල් ඇදුම් වව්චර්, කැරට්, රතුළුණු, පොල් බෑයක්, ගහල අල සහිත එළවලු මාලයක් පැළඳගෙනය. එසේ පැමිණෙමින් ඔහු කියා සිටියේ අද රටේ ජනතාවට ආහාර පාන ලබා ගත නොහැකි ලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බවයි. ජනතාවට මේ සියලු බරපටවමින් වත්මන් ආණ්ඩුව හඬපට සෙල්ලමක් ආරම්භ කර ඇති බව කියමින් සී.ඩී තැටි කිහිපයක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද ලබා දෙන ලදී.

ඔය හඬ පට වල තියෙන්නේ මිනිස්සු අද එළවලු කන්න බැරිව තියන අදෝනාව, පැනඩෝල් පෙත්ත මිල වැඩිවීමේ අදෝනාව, නිල ඇදුම්වව්චරය අඩුකිරීමේ අදෝනාව, අද රටේ මිනිස්සුන්ට පොල් ගන්න බැරිව තියන අදෝනාව. රංජන්ගේ හඬ පට වගේම ඔය හඬපටත් අහලා බලන්න. එතකොට ඔය රංජන්ගේ හඬ පටවලින් චුන් වෙලා ඉන්න අයට රටේ ඇත්ත තත්ත්වය බලා ගන්න පුළුවන් වේවි.” අරුණ මන්ත්‍රීවරයා එසේ පවසනවාත් සමඟම සභාවේ ඇති වුයේ එකමගාල ගෝට්ටියකි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වන උදාන කුසුම්සිරි (ශ්‍රීලනිප) , ලලේන්ද්‍ර අද්දරගේ (ශ්‍රීලපොජපෙ), අමරසේන ලියනපතිරණ (ශ්‍රීලපොජපෙ) සෝමසේන විතාන (ශ්‍රීලපොජපෙ) යන මන්ත්‍රීවරුන් මෙහිදි අරුණ මන්ත්‍රීවරයාට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන්නට විය. එහිදි සභාවේ ඇති වුයේ දැඩි ඝෝෂාකාරී තත්ත්වයකි. එම ඝෝෂාකාරී තත්ත්වය අතරතුර අරුණ මන්ත්‍රීවරයා අදාළ එළවලු මාලය සියලු මන්ත්‍රීවරුන්ට පෙන්වමින් වත්මන් ආණ්ඩුව විවේචනය කරන්නට විය. මේ සදහා විපක්ෂය නියෝජනය කරන එජාප මන්ත්‍රීවරියන් වන හර්ෂණී කන්ඩම්බි, මල්ලිකා යන මන්ත්‍රීවරියන් ද අරුණ මන්ත්‍රීවරයාගේ සහායට අදහස් ප්‍රකාශ කරන්නට වුහ.

ඒ අතරතුර එළවලු මාලය සමඟින් සභාව මැද සිටි අරුණ මන්ත්‍රීවරයා වෙත ගිය පොහොට්ටු මන්ත්‍රී අමරසේන ලියනපතිරණ මහතා විසින් එළවලු සහිත මාලය ගලවා සභාවෙන් ඉවතට විසි කරන ලදී. පසුව නැවත තම අත තිබු හඬ පට යැයි කියමින් අරුණ මන්ත්‍රීවරයා සභාවේ මන්ත්‍රීවරුන්ට සී.ඩී. තැටි බෙදන්නට විය. එහිදි නැවත සභාව උණුසුම් වු අතර සභාපති ඒ.වී සරත් කුමාර මහතා සභාව පාලනය කිරීමට උත්සාහ කළ ද මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාකාරීත්ව නිසා එය අපහසු විය. පසුව නැගී සිටි ඉමදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රී උදාන කුසුම්සිරි මහතා ද සී.ඩී පෙන්වමින් එම සී.ඩී පටම විපක්ෂය වෙත යළි ලබා දෙන ලදී.

මේ බැදුම්කර සී.ඩී පටය, මෙන්න එම්.සී.සී ගිවිසුමේ සී.ඩී පටය, මෙන්න රට පාවා දෙන සී.ඩී පටය මේ තව තියනවා පසුගිය වසර පහේ කරපුවා ගැන සී.ඩී පට ඔබතුමාලත් රංජන් ගේ සී.ඩී පට අස්සේ ආයිත් මේවත් බලන්න. යනුවෙන් ශ්‍රීලනිප මන්ත්‍රී උදාන කුසුම්සිරි මහතා කීවේය. මන්ත්‍රීවරයාගේ ඒ ප්‍රකාශයත් සමඟින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සී.ඩී පට ලබා දෙන්නට විය. ඒ අනුව නැවත සභාව උණුසුම් වු අතර පසුව සභාපතිවරයා මැදිහත් වි සභාව පාලනය කිරීමෙන් අනතුරුව සභාවේ වැඩ කටයුතු යළි ආරම්භ කර සාමාන්‍ය පරිදි සිදුවිය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *