අමෙරිකාවේ බළල් සුරතලුන් වෙනුවෙන් අවන්හලක්

බළල් සුරතලුන් වෙනුවෙන් ඉදිකළ අපූරු අවන්හලක් පිළිබඳ පුවතක් අමෙරිකාවෙන් වාර්තා විය.

මෙම අවන්හල, නිවාස අහිමි බළලුන් වෙනුවෙන් ක්‍රියාත්මක කැපකරු නිවාසයක් ලෙසද ක්‍රියාත්මක වෙයි.

බළලුන්ට ආදරය දක්වන පුද්ගලයන් අනිවාර්යයෙන්ම යා යුතු මේ අවන්හල පිහිටා ඇත්තේ අමෙරිකාවේ වොෂින්ටන් නගරයේයි.

කෝපි කෝප්පයක රස විඳින අතරේ බළල් සුරතලෙක් සමග විවේකයෙන් කාලය ගතකිරීමට හැකි ආකාරයට මේ අවන්හල නිර්මාණය කර තිබේ.

නිවාඩු සමය වෙනුවෙන් විශේෂයෙන් අලංකාර ඇඳුමින් සරසන ලද බළල් සුරතලුන් දැකබලා ගැනීමට අවන්හලට විශාල පිරිසක් ඇදී එන බවයි විදෙස් වාර්තා පවසයි.

හිමිකරුවන් නොමැති බළලුන් වෙනුවෙන්ම ඉදි වූ ක්‍රම්බ්ස් ඇන්ඩ් විස්කර්ස් සමාගම සතු දෙවන කැපකරු නිවස මෙයයි.

ලොස් ඇන්ජලීස් නුවර එහි පළමු වැන්න ඉදි වූ අතර ඒ ඔස්සේ ලබා ගත් ජනප්‍රියත්වය බළල් සුරතලුන් වෙනුවෙන් මේ අවන්හල විවෘත කිරීමට හේතු විය.

හදාවඩා ගැනීමට ඉල්ලුම්කරුවන් වෙත ලබාදෙන තෙක් බළලුන්ට රැකවරණය සැළසීමට කැපකරු නිවාස ලෙස ක්‍රියාත්මක වන මේ අවන්හල් මඟින් කටයුතු කෙරෙයි.

මේ අපූරු අත්දැකීම විඳ ගැනීමට කැමති පාරිභෝගිකයන්ට අන්තර්ජාලය ඔස්සේ ඒ වෙනුවෙන් කාලය වෙන් කරවාගැනීමේ හැකියාව පවතින බවද සඳහන්.

බළල් සුරතලුන් සමඟ සිය කාලය ගතකිරීමට පැමිණෙන අයගෙන් බොහෝ දෙනෙක් යළි මේ අවන්හලෙන් පිටව යන්නේ බළල් සුරතලෙකුගේ හිමිකාරීත්වයද සමඟයි.

මෙහි පැමිණෙන බොහෝ දෙනෙකු අවන්හල පිළිබඳව ප්‍රසාදයෙන් යුතුව අදහස් පළකර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *