යුද සමයේ සේවයට බඳවා ගත් පොලිසියේ 40,000කට උසස්වීම් දී නැහැ

පසුගිය යුද සමයේ උප සේවා පොලිස් නිලධාරීන් වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබු නිලධාරීන් 40,000කට ආසන්න පිරිසකට මෙතෙක් කිසිදු උසස් වීමක් ලැබී නොමැති බව ඔවුහු චෝදනා කරති.

උප සේවා පොලිස් නිලධාරීන් වශයෙන් යුධමය කාලය තුළදී අනුඛණ්ඩ හා අනුඛණ්ඩ නොවන ආදි වශයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් එවකට රටේ පැවති තත්වය මත පොලිසියට බඳවා ගෙන තිබුණි.

එම නිලධාරින් දශක තුනකට ආසන්න කාලයක් පැවති යුද සමයේදී යුදමය කටයුතු සඳහා යොදා ගත්තද අද වන විට එම නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේදී අසාධාරණයක් සිදුව ඇතැයි ඔවුහු පවසති.

1988 සහ 1990 යන වසරවලදි පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට බැඳී දශක තුනක කාලයක් යුදමය කටයුතු සඳහා දැක්වු සහයෝගයට උපහාරයක් වශයෙන් එවකට ජනාධිපති ධූරය දැරූ මහින්ද රජපක්ෂ මහතාගේ රජය තුළදි නිවාස සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ යොජනාවක් පරිදි සුදුසුකම්ලත් සියලු උපසේවා නිලධාරීන් වහා ක්‍රියාත්මක වන පරිදි 2006-2-01 දින සිට නිත්‍ය සේවයට අනුයුක්ත කර තිබිණි.

ඒ අනුව එම නිලධාරීහු පොලිස් සේවට බැඳුණු දින සිට නිත්‍ය සේවා නිලධාරින් වශයෙන් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට මාසිකව මුදල් ගෙවමින් මේ දක්වාම එහි සාමාජිකත්වය ලබා සිටිති.

2015 වසරේ එවකට පැවති රජය පරාජයට පත්වීමත් සමග එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව පත්වු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් දේපාර්තමේන්තුවේ නිලධාරින් ජ්‍යෙෂ්ඨතා ලැයිස්තු කිරීමට කටයුතු කරනලදී. එහිදි බොහෝ පරිනත පොලිස් නිලධාරින් පසෙකලා 2006-02-01 දිනට පෙර පොලිස් සේවයට බැඳුණු නිත්‍ය සේවා නිලධාරින් උප සේවා නිලධාරින් අභිබවා ජ්‍යෙෂ්ඨතා ලැයිස්තු ගත කර ඇති බව අසාධාරණයට පත් පොලිස් නිලධාරීහු කියි.
එයින් ද මෙම උපසේවා නිලධාරින්ට විශාල ආසාධාරණයක් සිදුවු බවද ඔවුහු පවසති. මේ හේතුවෙන් එතෙක් උප සේවා නිලධාරින් සහ නිත්‍ය සේවා නිලධාරින් අතර තිබු සම්බන්ධතාවය බිඳීගිය බවත් දේපාර්තමේන්තුව තුළ යම්යම් ගැටුම්කාරී තත්වයක් නොපෙනෙනා අයුරින් මතුව ඇති බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති. 2018-01-01 උසස්වීම් ලබාදීමේදි මෙන්ම 2020-01-01 දිනටද උසස්වීම් නිර්දේශ කර ඇත්තේද නිත්‍ය සේවයට මුලින් පත්වු නිලධාරින්ටම බවද ඔවුහු කියති.

එසේම මේ වන විටත් නිලධාරින් අතරද තමාට වඩා කනිෂ්ඨ නිලධාරියකු යටතේ රාජකාරි කිරීමට යාමේදී යම් යම් ප්‍රශ්නවලට මුහුණ දී විනය පරීක්ෂණවලටද ලක්වීමටද සිදුව ඇත්තේ අසාධාරණයට පත්වු නිලධාරීන්ටම බවද සඳහන් කරයි. පොලිස් නිලධාරීන් සඳහන් කර සිටින්නේ තම රාජකාරිය පිළිබඳව අසතුටින් සේවයේ නිරතවීමට සිදුව ඇති බවයි.

එම නිසා මේ සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරායාගේ අවධානය යොමු කර පොලිස් දෙපාර්තමේන්තුව තුළ සේවයේ නියුතු 40,000 ආසන්න නිලධාරීන් වෙනුවෙන් සාධාරණයක් කිරීමට කටයුතු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *