ජනතාවට මේ වන විට ප්‍රතිලාභ ලැබෙමින් පවතින බව අගමැති කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බදු අඩු කිරීම. හා සුළු භෝග ආනයනය සහ ප්‍රතිඅපනයනය තහනම් කිරීම මඟින් ජනතාව වෙත මේ වන විටත් ප්‍රතිලාභ ලැබෙමින් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(07) පෙරවරුවේ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගෙන ඉන් අනතුරුව ජයශ්‍රී මහා බෝ සමිදුන් වැද ආශීර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව රුවන්වැලිසෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක රුවන්වැලිසෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ ආගමික වතාවත් වල නිරත වී ආශිර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාවේදී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදාගැනීමට පැමිණ සිටි බැතිමතුන්ගේ සුවදුක් විමසීමටද මහින්ද රාජපක්ෂ මහතා අමතක නොකළේය.

පසුව මිරිසවැටි විහාරාධිකාරී ඊතල වැටුණුවැවේ ඥානතිලක නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උතුරු සහ උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත ආචාර්ය නුගේතැන්නේ මංගල ධම්ම කීර්ති ශ්‍රී සෝභිත රතනජෝති පඤ්ඤානන්ද නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාවන් සඳහා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සී මුතුකුමාරණ, හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් ඇතුළු පිරිසක් එක්විය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *