පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වහාම සිරිකොතට දැනුම් දෙන්න-අකිල

පශ්චාත් මැතිවරණ සමයේ දී පාක්ෂිකයන්ට මුහුණ දීමට සිදුවන පීඩාවන් වහාම සිරිකොත පක්ෂ මූලස්ථානයට දැනුම් දෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

මැතිවරණ කටයුතු නිදහස් හා සාමකාමී පරිසරයක් තුළ සිදු කිරීම වෙනුවෙන් තම ජය විසින් ස්ථාපිත කරන ලද ස්වාධීන කොමිෂන් සභාවල ද සහයෝගය ඇතිව ගෙනගිය වැඩපිළිවෙල සාර්ථක වූ බව රටේ සමස්ත ජනතාවට පසුගිය වකවානුව තුළ අත්විඳින්නට හැකි වු බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ වන විට හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්ව ඇති බවත්, නව ජනාධිපතිවරයා පත් වී දිනක් ගතවන්නටත් පෙර දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වෙමින් පවතින අමිහිරි පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව බලවත් කනගාටුව ප්‍රකාශ කරන බවත් එම නිවේදනයෙන් දන්වා ඇත.

2015 වසරේ මැතිවරණවලින් පසු ජනතාවට අත්පත් කර දුන් සාමකාමී සාධාරණ හා නිදහස් වාතාවරණය මෙම පශ්චාත් මැතිවරණ සමය තුළ දී අදාළ වගකිව යුත්තන් පවත්වා නොගැනීම ඛේදජනක බවද අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයේදී හංසයා ලකුණ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කල එක්සත් ජාතික පාක්ෂිකයන්ට කිසියම් හෝ අපහසුතාවකට, පීඩාවකට හෝ ප්‍රචණ්ඩකාරී බලපෑමකට ලක්වීමට ඉඩ නොදීමට වගකිව යුතු පක්ෂයක් වශයෙන් තම පක්ෂය බැඳී සිටින බවත් නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.

එවැනි කිසියම් හෝ අමිහිරි අත්දැකීමකට මුහුණදීමට සිදුවුවහොත් ඔබේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් වහාම පියවර ගැනීමට ඒ පිළිබඳව සිරිකොත පක්ෂ මූලස්ථානයේ 011- 2889378 සහ 077- 9215299 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඒ මහතා තවදුරටත් පෙන්වා දෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *