ජනපතිට එජාපයත් එක්ක යන්න බෑ කියලා දැනගෙන හිටියා – ගෝඨා

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය සමග වැඩ කළත් එම කණ්ඩායම සමග ඉදිරියට යා නොහැකි බව තමන් දැනගෙන සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

කෑගල්ලේ ඊයේ (17දා) පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගියවර එජාපය එක්ක වැඩ කළත්, මම දැනගෙන හිටියා මේ කණ්ඩායම දිගටම එජාපය එක්ක ඉන්නේ නැහැ කියලා. සංස්කෘතීන් දෙකකට, ප‍්‍රතිපත්ති දෙකකට එකට යන්න අමාරුයි.

අපි රටට අලූත් දේශපාලන සංස්කෘතියක් හදුන්වා දුන්නා. සෑම දෙනෙක්ම අද දේශපාලනය ගැන සිටින්නේ කළ කිරීමෙන්. ඇයි ඒ? අපි ප‍්‍රතිපත්තිමය වශයෙන් සේවය කරන්නයි ඉදිරිපත් විය යුත්තේ. අපි එවැන්නක් නොකලොත් ජනතාවට විකල්පය තෝරා ගැනීමටවත් හැකි වෙන්නේ නැහැ.

මැතිවරණයට විතරක් නෙවෙයි අපි එකතු වෙලා තියෙන්නේ. රට හදන්න එක ප‍්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ඉදිරියට යන්න වාද භේද, පෞද්ගලික ප‍්‍රශ්න ඉවත දමා එකතු වෙන්නයි කියලා ඉල්ලා සිටිනවා.

මම දේශපාලනය කරපු කෙනෙක් නෙවෙයි. ආරක්ෂක ලේකම් විදියට වැඩ කළා. රාජ්‍ය නිලධාරියෙක්. ජනතාව මා කෙරෙහි විශ්වාසය තබා තියෙන්නෙත් සියලු වාද භේදවලින් තොරව රට ඉදිරියට ගෙනයන ප‍්‍රතිපත්ති මාලාවක් මත නායකත්වය දෙයි කියන විශ්වාසය ඇතිවයි. අපි ඉදිරිපත් කරන්නේ ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙලක්. අද තියෙන ප‍්‍රශ්න හදුනාගෙන ඒ ප‍්‍රශ්නවලට විසදුම් ලබා දෙන්න අපි මුල් තැන දීලා තියෙනවා.

මට මැතිවරණයකට ඉදිරිපත් වෙන්න අදහසක් තිබු‍ණේ නැහැ. අපේ පත්වෙන ඕනෑම රජයකට වැඩපිළිවෙලක් සකස් කරගන්නයි මට අවශ්‍ය වුනේ. ඒ විදියට අපි වැඩ සටහනක් හදා ගත්තා. ඒ වැඩසටහන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක බෙදාගත්තා. ශ්‍රීලනීපයත් එක්ක සාකච්ඡා කරලයි අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදක්වන්නේ. මට සහාය දෙන්න හැකියාව ඇති ප‍්‍රතිපත්ති මාලාවක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. “

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *