ඇල්පිටිය ජයගත් සභිකයින්ගේ නම් ඉදිරි දින දෙක තුළ ගැසට් පත්‍රයට

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ සභිකයින්ගේ නාම ලේඛනය ඉදිරි දින දෙක තුළ ගැසට් පත්‍රිකාවක් මඟින් ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා සඳහන් කළේ අදාළ නම් හැකි ඉක්මනින් ලබා දෙන ලෙස දැනුම් දී ඇති බවයි.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමත් වු අතර ඒ අනුව ඔවුන්ට හිමි වු සභික සංඛ්‍යාව 17කි.

එම සියලුම සභිකයින් මහජන ජන්දයෙන් තේරී පත්වෙයි.

එහෙත් එක්සත් ජාතික පක්ෂය මෙම ඡන්ද විමසීමේදී සභික ධුර 07ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානය සභික ධුර 03ක් සහ ජනතා විමුක්ති පෙරමුණ සභික ධුර 02ක් හිමි කර ගැනීමට සමත් වුණි.

ඒ අනුව මෙම සභිකයින්ගේ නම් අදාළ පක්ෂවලින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දියයුතු වන බව වාර්තා වෙයි.

මීට අමතරව ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා නම් කර දැනුම්දෙන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට දැනුම් දී තිබේ.

මෙම සියලු සභිකයින්ගේ නම් අද දිනයේදී ලැබෙනු ඇති බවට විශ්වාස කෙරෙන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව මෙම නාම ලේඛණය ඇල්පිටිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යැවීමට නියමිත අතර ඉන් පසු සභිකයින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *