නයාරු ගුරුකන්ද නා හිමිගේ ආදාහනය සම්බන්ධව පැමිණිල්ලක්

මුලතිව් නයාරුගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නා හිමියන්ගේ දේහය අධිකරණ නියෝගයන්ට එපිටින් ගොස් මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල සීමාවේ ආදාහනය කිරීමට විරුද්ධව කෝවිලේ පාලක සභාව වව්නියාව මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයට සිදුකළ පැමිණිල්ලක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත.

මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිලේ පාලක සභාව හා මුලතිව් පොලිස් නිළධාරීන් කැදවමින් අදාළ පැමිණිල්ල විභාගයට ගැණින.

කෝවිලේ පාලක සභාව එහිදි පැමිණිලි කොට තිබුණේ අධිකරණ නියෝගයට එපිටින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා සිංහල ජනතාව නයාරු නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල සීමාවේ නයාරු විහාරාධිපති හිමියන්ගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් හා පොලීසිය විසින් එහිදි නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරදෙන ලෙසයි.

අපවත් වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නා හිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා අගෝස්තු 23 වැනිදා නියෝග කළේය.

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නා හිමයන්ගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කොට පැවති නඩු විභාගය සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව අදාළ ස්ථානයේ කිසිදු ඉදි කිරීමක් සිදුනොකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා විහාරයේ දායක පාර්ශවය වෙත උපදෙස් දෙනු ලැබීය.

ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර නා හිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාරයේ සිදු නොකිරීම සඳහා කටයුතු කරන ලෙසත් එහි කෝවිලක් තිබෙන බැවින් එයට අගෞරවයක් වන බවට පවසමින් විහාරස්ථානයේ පිහිටි නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව විසින් මුලතිව් පොලීසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය කැඳවු අවස්ථාවේ අදාළ තීන්දුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළේය.

මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව ලැබෙන විට සංඝ සභාව විසින් ‍දේහයේ විහාර සීමාවේ අදාහන කිරීම සිදු‍ කෙරිණ.

ඊට විරුද්ධව ප්‍රදේශයේ දෙමළ ජනතාව හා සිංහල ජනතාව අතර යම් නොසන්සුන්කාරී තත්ත්වයක්ද හට ගැණින.

නයාරු ගුරුකන්ද විහාරාධිපති නා හිමියන්ගේ දේහය ආදාහනය කිරීමෙන් අනතුරුව දේහය අධිකරණ නියෝගයට එපිටින් ආදාහනය කළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින් උතුරු පළාතේ විරෝධතා රැසක්ද පසුගිය සමයේ පැවැත්විණ.

වව්නියාව මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාල නිලධාරීන් පවසා ඇත්තේ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පවත්වන බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *