මැතිවරණ පැමිණිලි වැඩිම නාමයෝජනා බාරදුන් දිනයේ දී

මැතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට මේ දක්වා පැමිණිලි 103ක්වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.

මේ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන පැමිණිලි 96ක් නාම යෝජනා භාරදුන් ඊයේ දිනයේ (07) වාර්තා වීම විශේෂත්වයක් බව එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

පූර්ව නාම යෝජනා සමයතුළ වාර්තා වී ඇති සිදුවීම් ප්‍රමාණය 7ක් වන අතර එවා මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් පිළිබඳව පැමිණිලි වන බව ද ඇය නිකුත්කළ මාධ්‍ය නිවේදනයේ දක්වා තිබේ.

මීට අමතරව දිවයිනේ සෑම ප්‍රදේශයකම මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් දක්නට ලැබුණු බව සඳහන් කරන සුරංගි අරියවංශ මහත්මිය පෙන්වා දෙන්නේ අපේක්ෂකයින් තිදෙනෙකු ගේ පෝස්ටර් බහුල වශයෙන් දක්නට ලැබුණු බවයි.

මීට අමතරව අපේක්ෂිකයින්ට සුභ පැතුම් එක් කරමින් විශාල ප්‍රමාණයේ කටවුට් ප්‍රදේශ රැසක ඉදිකර තිබූ බවත් ඒවා පිළිබඳව මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර ඇති බවත් සුරංගි ආරියවංශ මහත්මිය පවසයි.

කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ එක් අපේක්ෂකයෙකු ගේ දැන්වීම් වලට කළුතෙල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමක් වාර්තා වන බවද ඇය සදහන් කළේය.

මෙවර මැතිවරණය සඳහා කැෆේ සංවිධානය දීප ව්‍යාප්ත මට්ටමින් නිරීක්ෂකයින් 7500ක් යොදා ගැනීමට සැලසුම් කර ඇති අතර විශේෂයෙන් ඡන්ද දායකයින් වෙත අල්ලස් ලබාදීම් සහ විවිධ වරප්‍රසාද ලබාදීම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව ද කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *