ව්‍යාජ බලපත්‍ර සමඟ ඉරාන ජාතික පිය , පුතු දෙපළක් අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ විසා බලපත්‍ර යොදා ගෙන ශ්‍රී ලංකාව ඔස්සේ ජපානයටත් , එතැනින් ඕස්ට්‍රේලියාවටත් පළා යෑමට උත්සාහ කළ ඉරාන ජාතික පිය , පුතු දෙපළක් ඊයේ (16) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පිටත්විමේ පර්යන්තයේ දි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

51 හැවිරිදි මෙම ඉරාන ජාතික පියා එරට මල් ආශ්‍රිත ව්‍යාපාරික කටයුතු වල නියැලි සිටින අයෙකු වන අතර , ඔහුගේ 15 හැවිරිදි පුතා තවමත් ඉරානයේ අධ්‍යාපන කටයුතු හදාරමින් සිටින්නෙකි .

ඔවුන් දෙදෙනා ඉකුත් (14) දින ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර , ඊයේ (16) දින රාත්‍රී 7.30 ට ජපානයේ නරීටා බලා පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මොවුන් දෙදෙනා ගුවන් තොටුපළ විගමන කවුළුව වෙත පැමිණ සිටියදී , ඔවුන් ඉදිරිපත් කළ වීසා බලපත්‍ර වල වෙනස්කම් කීපයක් දුටු එහි සේවය කළ ආගමන විගමන නිලධාරිවරිය , මොවුන් වහාම ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ .

එහිදි මෙම වීසා බලපත්‍ර ගුවන් තොටුපළ පිහිටා ඇති දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර ඇති අතර , එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂණ වලින් අනතුරුව , වීසා බලපත්‍රයක තිබිය යුතු සියුම් තාක්ෂණික ආරක්ෂක උපක්‍රම මෙම වීසා බලපත්‍ර වල නොතිබුණු බැවින් , මෙම වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බව අනාවරණය විය .

තවදුරටත් ඔවුන්ගේ ගමන් මලු පරික්ෂා කිරිමේ දී , අපහැදිලි ගුවන් ගමන් මාර්ග සහිත ගුවන් ප්‍රවේශ පත්‍ර දෙකක් ද ආගමන විගමන නිලධාරීන්ට සොයා ගැනීමට හැකි වී තිබේ .

මොවුන් දෙදෙනා ජපානයේ සිටින තම මිතුරෙකු මගින් ඕස්ට්‍රේලියාව වෙත යෑම සදහා තමන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණි බවත් , මෙම කටයුතු සදහා මොවුන් ඉරාන ජාතික තැරැව්කරුවෙකුට රුපියල් හත් ලක්ෂයක් පමණ ද ගෙවා ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු අනාවරණය කර ගැනීමට සමත් වි තිබුණි .

පසුව මෙම ඉරාන ජාතිකයන් දෙදෙනා මිනිස් ජාවාරමකට ලක් වූ බවට තහවුරු වීමෙන් පසුව , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *