පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය සහිත පිරිස් සහ ජාවාරම්කරුවන්-ජනපති

ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව බොහෝ රටවල පරිසරය විනාශ කරන්නේ දේශපාලන. බලය ඇති පිරිස් සහ ජාවාරම් කාර ව්‍යාපාරිකයින් බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේබව ප්‍රකාශ කළේ ඊයේ (10)පස්වරුවේ තුල්හිරිය මාර්ස් ඇතිනා ශාලාවේ දී ආරම්භවූ නිවර්තන ජීව විද්‍යාව සහ සංරක්ෂණය පිළිබඳ සංවිධානයේ ආසියා – ශාන්තිකර සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

තිරසර මානව හා සාමාජීය පැවැත්මක් තහවුරු කිරීම උදෙසා මිනිසා හා පරිසරය මනා තුල්‍යතාවයකින් යුතුව පවත්වා ගැනීම අතිශය වැදගත් කාලීන අවශ්‍යතාවයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ලෝක තිරසර පරිසර කළමනාකරණ ක්‍රියාවලියේ දී ඉතාවැදගත් කාර්යභාරයක් ආසියා-ශාන්තිකර කලාපයේ නිවර්තන රටවල වෙසෙන සියලූදෙනාට පැවරී ඇතිබව සඳහන් කළ ජනාධිපතිවරයා ජෛව විවිධත්වයෙන් අනූන, ආවේණික හා ඒකදේශීය අති විශාල ශාක හා සත්ත්ව ප්‍රජාවක් කලාපය සතුවීම එයට හේතුව බවද සඳහන් කළේය.

හුදෙකලාවූ වනාන්තර පද්ධති එක්වන පරිදි නැවත වනවගා කිරීම මගින් එම හුදෙකලා වනාන්තර කොටස් සම්බන්ධ වී ශාක හා සත්ත්ව ප්‍රජාවේ අනාගත පැවැත්ම තහවුරු කෙරෙන බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශ හඳුනාගෙන ඒවා සංරක්ෂණ කොට ආවේණික හා දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ රැක ගැනීමේ හෙට දවස වෙනුවෙන් වු අද දවසේ වගකීම ද පැහැදිළි කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විටත් ලෝකයේ නිවර්තන කලාපීය රට වල ජෛව විවිධත්වය පිළිබඳ ප්‍රබල කථීකාවක් ගොඩ නැගී ඇති බවයි.

එබැවින් ආසියා-ශාන්තිකර කලාපයේ නිවර්තන ජෛව සංරක්ෂණය උදෙසා වූ දෙස් විදෙස් විද්‍යාර්ථීන් සහභාගීවන මෙම සමුළුව ශ්‍රී ලංකාව තුළ පැවතීම අප රට ලැබූ මහඟු ජයග්‍රහණයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා එය ලාංකීය විද්වත් ප්‍රජාව ලද වටිනා අවස්ථාවක් බව ද කියා සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විශාල ආහාර බෝග ප්‍රමාණයක්වන සතුන් විසින් විනාශ කිරීමේ ගැටලූව කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා කියා සිටියේ ඊට ලබාදිය හැකි ස්ථීරසාර විසඳුමක් පිළිබඳ මෙම සමුළුවේ දී ලෝකවාසි සියලූ පර්යේෂකයන්ගේ මෙන්ම විද්වතුන්ගේ ප්‍රමුඛ අවධානයක් යොමුවනු ඇතිබව තමා විශ්වාසකරන බවයි.

නිවර්තන ජීව විද්‍යා හා සංරක්ෂණ සංගමය 13 වනවරටත් පවත්වන ආසියා-පැසිපික් සම්මේලනයේ රැස්වීම ශ්‍රී ලංකාවේ දී පළමුවරට අද සිට 13 වනදා දක්වා පැවැත්වෙන අතර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය කොළඹ විශ්වවිද්‍යාලය සහ සබරගමුව විශ්වවිද්‍යාලය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සම්බන්ධීකරණයෙන් එය සංවිධානය කරනු ලබයි.

ජනාධිපතිවරයා අතින් සම්මන්ත්‍රන ශාලාපරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම ද සිදුවිය.

සම්මේලනයට අදාළ වැඩසටහන් නිබන්ධනයද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *