නව සන්ධානයේ ව්‍යවස්ථාවට එජාපෙ පක්ෂ නායකයෝ එකග වෙති – අපේක්ෂකයා ගැන තීන්දුව තවත් පස්සට

යෝජිත නව සන්ධානය සඳහා වූ ව්‍යවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ. නායකයින් ඊයේ අනුමැතිය ලබා දි තිබෙනවා. මාධ්‍ය කළ විමසීමකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ නව සන්ධානයේ ලේකම්වරයා සහ ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කළ යුතු බව ද මෙම ව්‍යවස්ථාවේ ඇතුළත් බවයි.

කෙසේවෙතත්, ලේකම්වරයා සහ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් නම් කරන තැනැත්තන්ට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ අනුමැතිය හිමිවිය යුතු බව ද ව්‍යවස්ථාවේ සඳහන්ව ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

යෝජිත නව සන්ධනය සඳහා වූ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙම එකගතාවන් ඇතිවී තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර අරලියගහ මන්දිරයේදී ඊයේ රාත්‍රි පැවැති සාකච්ඡාවකදීයි. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

” සන්ධානය හදන්න සියලු දෙනා එකඟ වුනා. සාකච්ජාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, මනෝ ගනේෂන්, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න ඇතුළු එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම නායකයින් පැමිණ සිටියා. සන්ධානයේ ලේකම් ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්න මෙහිදී තීරණය කළා. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා තෝරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්. සන්ධානයේ නව ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙනවා එක්සත් ජාතික පක්ෂයෙන් තෝරනු ලබන අපේක්ෂකයා තමයි සිය සන්ධාන අපේක්ෂකයා වෙන්නේ කියලා. සන්ධානයේ වැඩපිලිවල සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඉදිරි දින 10 තුලදී සාකච්ජා කොට එය අත්සන් තැබීමට කටයුතු කරන බව” මෙහිදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඊයේ රාත්‍රියේ පැවැති මෙම සාකච්ඡාවේදී එළඹි එකගතා පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාසගෙන් ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *