මුදල් අමාත්‍යාංශයේ හැමෝම මාස 2කට බස්වල යවන්න ඕනේ-අර්ජුන

ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට සුඛෝපභෝගී බස් රථ දෙදාහක් ගේන්න මාස එකහමාරක් පුරා. කැබිනට් මණ්ඩලයට කරදර කරමින් සිටින බවත්, එයට මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ගෙන් බාධා ඇති වෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

එතුමා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට සුඛෝපභෝගි බස් රථ ගෙන්වීමේ ව්‍යාපෘතිය පිළිබඳ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

දොම්පේ ශ්‍රී ශෛල චෙත්‍යරාම විහාරස්ථානයේ අද පැවැති (14) මව්රට සංවිධානය ඉදිරිපත් කළ ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩසටහන එක්වීමෙන් පසුව මෙම අදහස් දැක්වීම සිදු කෙරිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් දැඩිව විවේචනය කළේ ඔවුන් සැප විදමින් මහජනතාව අපහසුතාවයට පත් කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංගමට සුඛෝපභෝගි බස්රථ දෙදාහක් ගේන්න අපි සැලසුම් කළා. ඒකට දැන් අපි මාස එකහමාරක් තිස්සේ කැබිනට් මණ්ඩලයේ දඟලනවා.

නමුත් මුදල් අමාත්‍යාංශයේ ඒ. සී. කාමරවල ඉන්න, සැප වාහනවල යන එන නිලධාරීන් මේ ව්‍යාපෘති‍යට බාධා කරනවා. කකුලෙන් අදිනවා. අපේ මිනිස්සු ලොරිචැසිවල යන එක ගැන ඒ නිලධාරීන්ට ගාණක් නැහැ. කැක්කුමක් නැහැ.

ආණ්ඩුවේ ඇමැතිවරයෙක් මම. මට මේ රටේ පොඩි මිනිහා වෙනුවෙන් සුඛෝපභෝගී බස්රථ ගේනන බැරිනම්, ලංගම දියුණු කරමින් සුඛෝපභෝගී බස්රථ ගේන්න බැරිනම්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ ව්‍යාපෘතියට බාධා කරනවා නම් අපි මොකටද දේශපාලනය කරන්නේ. මේ විදියට ‍ගියොත් අපිත් මේ දේශපාලනයේ ඉන්නවද කියන එක ගැන හිතන්න වෙනවා.“

දැන් අවුරුදු ගාණක් තිස්සේ හොඳ බස් මේ රටට ගෙනල්ලා නැහැ. මේ ජිවිත කාලය පුරාම මිනිස්සු ගියේ ලොරි චැසි ගැසූ බස්වල.

මේ ලොරි චැසි බස්වලින් අපිට පොදු ප්‍රවාහනය දියුණු කරන්න බැහැ. ඒ නිසා අපි අතිනවීන ‍සුඛෝපභෝගී බස්රථ නවයක් ගෙනාවා.

එයට පුදුම ඉල්ලුමක් තියෙනවා. අද මිනිස්සුන්ට අවශය වෙනනේ පෞද්ගලික වාහනවල යන්න නෙවෙයි. හොඳ බස්‍ සේවාවක් දුන්නොත්, හොඳ දුම්රිය සේවාවක් දුන්නොත් මිනිස්සු ඔක්කොම ඒවල යනවා.

ඒ අනුව තමයි ආයෝජකයෙක් සමඟ එක් වී අපි සුඛෝපභෝගී බස්රථ දෙදාහක් ගේන්න හැදුවේ. නමුත් මුදුල් අමාත්‍යාංශයේ ඉන්න නිලධාරින් මේ ව්‍යාපෘතියට කැමැති නැහැ. නමුත් ඔවුන් පෞද්ගලික අංශයට සැප බස් ගේන්න පුදුම විදියට උනන්දු වෙනවා. දඟලනවා. ඒ උවමනාව ලංගමට සැපබස් ගේනකොට නැහැ. ලංගම විනාශ කරනවා.

මම කියන්නේ මේ මුදල් අමාත්‍යාංශයේ ඉන්න සියලුම නිලධාරීන් මාස දෙකකට බස්වල කෝච්චිවල යවන්න ඕනේ. එතකොටවත් පොදු ජනතාවගේ දුක දැනේවී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *