පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවා නම් වඩාත් කැමතියි – මහින්ද

ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙනවා නම් තමන් වඩාත් කැමති. බවත් ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නම් ඊට කිසිදු පැකිලීමක් නොමැතිව රටට ආදරය කරන පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (15දා) සවස ගාල්ලේ පැවැති “වියත්මග” සමුළුවේදී පැවසීය.

“අපි දන්නවා මේ ආණ්ඩුව පිහිටුවලා වසර හතරයි. මේ කාලේ තමයි මේ අය ඉක්මනට පන ගහලා තියෙන්නේ. දඩි බිඩියේ ගිවිසුම් අත්සන් කරනවා. ප්‍රතිපත්ති පනත් සම්මත කරගන්න පාර්ලිමේන්තුවට අරගෙන එනවා.

මේ වසර හතරක් තිස්සේ දේශපාලන පළිගැනීම් කළා හැරෙන්න වෙන මොනවද කරලා තියෙන්නේ. අපි ණය ගත්තා නම් ඒ ණයට වටිනාකමක් ලබාදුන්නා.

මගේ ආණ්ඩුවේ හිටපු ඉහළම රජයේ සේවකයාට ඳඬුවම් කරලා කිසිම වැඩක් ගන්න පුළුවන් වෙයිද? අපේ කාලේ නිලධාරීන් බය නැතිව රටේ වැඩ කළා. ඔවුන් දන්නවා ඔවුන් රකිනවා කියලා.

රටේ වැඩ කෙරෙන්නේ නෑ. එල්ලුම් ගහ ගැන කතා කර කර ඉඳියි.

රටක ජනපති අගමැති ගැටෙන කොට රටේ සියලු සංවර්ධන කටයුතු වලට බලපානවා. මේ තත්ත්වය හින්දා තමයි රට මේ තත්වයට වැටිලා තියෙන්නේ.

දෙදෙනා එකතු වුණා මාව පරද්දන්න. නමුත් යන ගමන ගැන අවබෝධයක් දෙන්නටම තිබුණේ නෑ. එකම අවබෝධය තිබුණේ කොහොමද මෙයා පරද්දන්නේ කියන එක.

මේ රජය ඉක්මනින් ගෙදර යවලා මේ රටේ ජනතා හිතවාදී ආණ්ඩුවක් පිහිටුවන්න උවමනායි. මම හිතන්නේ දැන් එන්නේ ජනාධපතිවරණය. පළාත් සභා තියන්න ඕන කියනවා. මම දන්නේ නෑ පළාත් සභා මැතිවරණය තියයිද කියලා. මේ වෙලාවේ තියන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්.

ඊළඟට තියෙන්නේ ජනාධිපතිවරණය. අපි පාර්ලිමේන්තු මැතිවරණය තියනවා නම් වඩාත් කැමතියි. නමුත් ජනාධපතිවරණයක් එනවා නම් අපි ඒකටත් කිසි පැකිලීමක් නැතිව මුහුණ දෙනවා. අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න මේ රටට ආදරය කරන මනුස්සයෙක් දාන්න අපි සූදානම් වෙලා ඉන්නවා.”

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *