සාක්ෂි සහිතව ඔප්පු වුවහොත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ කිසිදු වරදක් නෑ-සජිත්

සිර ගෙදර සිට කුඩු ජාවාරම ක්‍රියාත්මක කරන මහා පරිමාන කුඩු කප්පිත්තන්ට එරෙහිව. පවතින චෝදනා නීතියේ අධිපත්‍යයට යටත්ව සාධරණ නිවැරැදි අධිකරණ ක්‍රමවේදයක් තුළ සාක්ෂි සහිතව ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ කිසිදු වරදක් තමන් නොදකින බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙරට ලක්ෂ 44 පමණ වන පාසල් දරු දැරියන්ගේ ජීවිත සහමුලින්ම විනාශ කරන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුන්ගෙන් අනාගත දරු පරපුර ආරක්ෂා කරගන්නේ කෙසේද කියා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට විරුද්ධව කතා කරන පිරිසගෙන් තමන් ප්‍රශ්න කරන බවද අමාත්‍යවරයා පැවසීය.

පාස්කු ඉරු දින අලුත්ම මාදිලියේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ සහ එයට සහයෝගය ලබාදුන් පුද්ගලයින්ට එරෙහිව මරණීය දණ්ඩනය ලබා දීමට ද මෙම කණ්ඩායම විරුද්ධ බව පැවැසූ අමාත්‍යවරයා රට කෑලි වලට බෙදීමට කටයුතු කළ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද මෙහෙයුම ක්‍රියාත්මක කරන විට එදා පැවැති රජය ත්‍රස්තවාදීන් විනාශ නොකරන ලෙස ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබා දුන්නාද කියා තමන් ප්‍රශ්න කරන බවත්, එසේ උපදෙස් ලබා දුන්නා නම් අදටත් කොටි ත්‍රස්තවාදය රටේ පවතින බවත් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ‘සිසු දහම් සෙවණ’ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ,කෑස්බෑව,කහපොල,ශ්‍රී සද්ධර්මාරාමමහා විහාරස්ථානයේ නව දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද (11) දින සහභාගී වෙමිනි.

ශ්‍රී සද්ධර්මාරාම මහාවිහාරස්ථානයේවිහාරාධිපති පූජ්‍ය තපෝවනේ අරියධජස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදී මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ. සියලු පහසුකම් සහිතව මෙම දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත වැයකෙරෙන මුදල රුපියල් ලක්ෂ 40 කි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *