ලංකාවෙන් ඩොලර් 50000ක ආධාරයක් කියුබාවට-තව පොල් පැල 200කුත්

රී ලංකාව සහ කියුබාව අතර 60 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබදතා සැමරුම් නිමිත්තෙන් කියුබාවේ විශේෂ සංචාරයක නිරත වී සිටින විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ කියුබානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මාර්සෙලීනෝ මෙදිනා ගොන්සාලෙස් (Marcelino Medina Gonzalez) මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය දා හවානා නුවරදී පැවැත්විණ.

එහිදී රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කියුබානු රජය සහ ශ්‍රී ලංකාව අතර දශක හයක් පුරා පවත්වා ගෙන එනු ලබන මිතුදම මෙන්ම ද්වීපාර්ශවීය සබදතා ශක්තිමත් කර ගැනීම උදෙසා කියුබානු රජයේ උනන්දුව සහ කැපවීම විශේෂයෙන් අගය කළ අතර දෙරට අතර සබදතා තව දුරටත් තර කර ගැනීමටත් මෙම සංචාරය ඉතා වැදගත් වඋ බව සදහන් කළේය.

එම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරුන් දෙපළ විසින් අන්තර්ජාතික සබඳතා පිළිබද ශ්‍රී ලංකාවේ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය හා කියුබානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ අන්තර්ජාතික සබඳතා පිළිබද රාවුල් රෝබා ගාර්සියා ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබන ලදී.

ඉදිරියේදී මෙම ආයතන ද්ව්ත්වයේ එකමුතුවෙන් ශාස්ත්‍රීය විද්‍යාත්මක සහයෝගිතා සහ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

තවද මෙම සංචාරය අතරතුර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ‍මහතා කියුබාවේ ප්‍රථම විදේශ වෙළදාම් සහ විදේශ ආයෝජන නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටෝනියෝ කැරිකාට් කොරෝනා මහතා හමුවී දෙරට අතර කර්මාන්ත සහ වාණිජ සබදතා තරකර ගැනීමේ ක්‍රමවේදය පිළිබඳවද සාකච්ඡා කරන ලදී.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර අත්සන් කරන ලද ප්‍රථම ගිවිසුම වන 1959 වර්ෂයේදී චේ ගුවේරාගේ ලංකාගමනයේදී චේ ගුවේරා සහ ආර්.ජී සේනානායක අතර අත්සන් තබන ලද වෙළඳ සහ ගෙවීම් එකඟතාවය පිළිබඳව අමාත්‍ය වසන්ත සේනානායක විශේෂ සඳහනක් කරන ලදී.

හවානා වාණිජ මණ්ඩලයේදී ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින් සමග පැවති වටමේස සාකච්ඡාවේදී ශ්‍රී ලාංකීය නිෂ්පාදන කියුබානු වෙළඳපොළට අපනයනය කිරීමට ඇති අවස්ථා සොයා බලා එමගින් විදේශ විනිමය මෙරටට ගෙන ඒමේ මාර්ග සලසා ගැනීමේ වැදගත්කමද අවධාරණය කරන ලදී.

මේ අතර 2019 නොවැම්බර් මාසයේදී කියුබාවේ හවානා නුවරදී පැවැත්වීමට නියමිත කියුබාවේ විශාලතම වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවද සහභාගි විමට නියමිතය.

කියුබානු ජාතික සභාවේද සංචාරයක නියුතු වූ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පාර්ලිමේන්තු හුවමාරු ක්‍රියාකාරකම්හි වැදගත්කම අවධාරණය කරන ලදී.

එහිදී කියුබාවේ ජාතික වීරවරයෙකු වන ජෝස් මාර්තී පිළිරුවකට නියෝජ්‍ය අමාත්‍යවරයා පුෂ්පෝපහාර දක්වන ලදී.

Cuban Institute of Friendship with people ආයතනය මඟින් පවත්වන්නට යෙදුණු සමාරම්භක උත්සවයේදී විශේෂ දේශනයක් සිදු කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා ආරාධනා ලැබූ අතර එහිදී එතුමා ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ඉපැරණි සබඳතා පිළිබද යළි සිහිපත් කරන ලදී.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ කියුබානු විප්ලවයෙන් පසුව කියුබාවේ නීත්‍යානුකූල භාවය පිළිගත් ප්‍රථම ආසියාතික රට වනුයේ ශ්‍රී ලංකාව බවයි.තවද කියුබාවේ අධ්‍යාපනය ලබන සිසුන්‍ට එරටදී ලැබෙන සහයෝගය මෙන්ම 1980 දශකයේ මුල් භාගයේ ලංකාවට පැමිණ රෝගීන්ට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරුන්ගේ සේවයද විශේෂයෙන් අගයන ලදී.

හවානා නුවර ජාන විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනයේද සංචාරයක නියුතු වූ නියෝජ්‍ය අමාත්‍යවරයා එම ආයතනය මගින් මෙරටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා ගත හැකි සේවාවන් පිළිබඳ සාකච්ඡා කරන ලද අතර දෙරට අතර තාක්ෂණ මෙන්ම රෝග වලට පිළියම් ක්‍රම හුවමාරු කර ගැනීමේ වැදගත්කමද අවධාරණය කරන ලදී.

කියුබාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලාංකීය ආහාර සැණකෙලිය නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා විසින් විවෘත කරන ලද අතර එම අවස්ථාවට ප්‍රවීන සූපවේදී පබිලිස් සිල්වා මහතාද සහභාගි විය.

මෙම සංචාරයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා සැන්ටා ක්ලාරා හි චේ අනුස්මරණ උද්‍යානයේ දී දෙරට අතර සබඳතා සනිටුහන් කිරීමට පැලයක්ද සිටුවන ලදී.

චේ ගුවේරාද තම ලංකාගමනය සහ දෙරට අතර සබදතා සනිටුහන් කිරීමට 1959 වර්ෂයේදී හොරණ යහලකැලේ වතු යායේ මහෝගනී පැලයක් සිටුවන ලදී.

මේ අතර දෙරට අතර සුහදත්වය සහ ආපදාවකදී උපකාර කිරීමේ උතුම් ශ්‍රී ලාංකීය සම්ප්‍රදායට ගරු කරමින් මෙම වසරේ ජනවාරි මස කියුබාවට බලපෑ කුණාටු තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පුද්ගලයිනට සහන සැලසීම සඳහා ශ්‍රී ලාංකීය ජනතාව වෙතින් පිරිනැමෙන උපකාරයක් වශයෙන් ඇමරිකානු ඩොලර් 50,000 ක් පිරිනමන ලදී.

තවද ආපදාවට ලක්වූ ප්‍රදේශවල පොල් වගාව නැවත ගොඩ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකාවෙන් පොල් පැල 200ක් ලබා දීමටත් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පොරොන්දු විය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *