පෞරාණික පිරමීඩයක් මහජන ප්‍රදර්ශනයට

ඊජිප්තුවේ පෞරාණික පිරමීඩයක් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට කටයුතු කර ඇත.

ඒ සියවසකට අධික කාලයක් තිස්සේ සිදු කෙරුණු පරීක්ෂණ සහ වසරකට ආසන්න කාලයක් සිදුවුණු සංරක්ෂණ කටයුතුවලින් අනතුරුවයි.

වසර හාරදහසකටත් වැඩි පැරැණි ලුහාන් පිරමීඩය ඉතිහාසයේ පළමු වරට ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනයට විවෘතකිරීමට ඊජිප්තු බලධාරීන් කටයුතු කර ඇත.

එය මෙසේ විවෘත කර ඇත්තේ වසරකට ආසන්න කාලයක් තිස්සේ ඊජිප්තු පුරාවස්තු පිළිබද අමාත්‍යංශය කළ සංරක්ෂණ කටයුතුවලින් අනතුරුවයි.

ප්‍රදර්ශනය සඳහා විවෘත කළ පිරමීඩය එකිනෙකට සම්බන්ධ මාර්ග ජාලයකින් සහ මෘතදේහ තැනැපත්කිරීමේ ඉපැරැණි කුටියකින් ද සමන්විතයි.

සොයා ගැනීමෙන් වසර ගණනාවක් යනතුරු පාෂාණවලින් සහ සුන්බුන්වලින් වැසී ගොස් තිබුණු පිරමීඩය පිරිසිදු කිරීම පහසු නොවූ බැවින් ඒ සදහා වැඩි කාලයක් ගතකිරීමට සිදුවූ බවයි බලධාරීන් පවසයි.

මේ වන විට පිරමීඩයේ තිබූ පුරා වස්තූන් ඇතුලු සියල්ල ඒවාට නියමිත ස්ථානවල රඳවා ඇත.

ගඩොලින් නිර්මිත ලුහාන් පිරමීඩය පිහිටා ඇත්තේ කයිරෝ අගනුවරට කිලෝමීටර් 60ක පමණ දුරකින් පිහිටි ෆයොවුම් ප්‍රදේශයේයි.

එය සොයාගෙන දැනට වසර සියයකට වැඩි කාලයක් ගතව ඇති අතර, 12වැනි පාරාවෝ පෙළපතට අයත් දෙවැනි සෙනුස්රෙත් රජුට අයත්ව තිබූ බවට පැවසෙයි.

එතැන් පටන් මෙතෙක් වසා දමා තිබූ පිරමීඩය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණේ සංචාරක ආකර්ෂණය වැඩි කරගැනීමට බව ඊජිප්තු පුරාවස්තු අමාත්‍යංශය වාර්තාවල සඳහන්ය.

සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ඊජිප්තු වැසියන් විශාල පිරිසක් සිය ජීවිකාව සපයා ගන්නා අතර එම ආදායම එරට ආර්ථිකයෙන් වැඩි කොටසක් නියෝජනය කරයි.

කෙසේ නමුත් 2011 වසරේ සිදුවූ අරාබි වසන්තයෙන් අනතුරුව ඊජිප්තු දේශපාලනය අස්ථාවර වූ අතර එය සංචාරක කර්මාන්තට දැඩි පහරක් වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *