අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් දුම්රිය වර්ජනයක්

කුමන බලපෑම් එල්ල වුවද අද (27) මධ්‍යම රාත‍්‍රියේ සිට අනිවාරයෙන් වැඩවර්ජනයක් සිදු කරන බව. දුම්රිය වෘත්තීය සමිති පවසනවා. ඒ, වැටුප් විෂමතා ඇතුළු තම ගැටළුවලට මෙතෙක් නිසි විසඳුම් නොලැබුණු බව පවසමින්.

මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් ඔවුන් ඉකුත් සතියේ පැය 48ක සංකේත වැඩවර්ජනයක් ද දියත් කළා. ඉන් පසුව වෘත්තීය සමිති පැවසුවේ සිය ඉල්ලීම් ලැබෙන තෙක් සෑම බ‍්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත‍්‍රී 12 සිට පැය 24ක වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බවයි.

එහෙත් දුම්රිය, අත්‍යවශ්‍ය සේවාවාක් බවට පත් කිරීමට සූදානම් බව ප‍්‍රවාහන අමාත්‍යංශය ඊයේ (26) ප‍්‍රකාශ කළා. එවන් තත්වයක් තුළ අද මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනය සිදු කරන්නේදැයි මාධ්‍ය දුම්රිය වෘත්තීය සමිතිවලින් විමසා සිටියා. ඊට ප‍්‍රතිචාර දැක්වූ දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න කියා සිටියේ රජය විසින් තමන් වෙත බොරු පොරොන්දු ලබා දෙමින් ජනතාව අපහසුතාවයට පත් කරමින් සිටින බැවින් සිය වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

ඉකුත් සතියේ සිදු කළ දුම්රිය වැඩවර්ජනයේ දී ද මගීන් රැසක් පීඩාවට පත්වුණා. ඒ අනුව අද මධ්‍යම රාත‍්‍රියේ සිට වර්ජනයක් ක‍්‍රියාත්මක කරන්නේ නම් ඊට මුහුණදෙන්නේ කෙසේදැයි මාධ්‍ය ප‍්‍රවාහන බලධාරීන්ගෙන් විමසීමක් කළා. ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ දුම්රිය විශ‍්‍රාමික සහ කොන්ත‍්‍රාත් සේවකයින්, සේවයට කැඳවන බවයි.

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවාක් බවට පත් කිරීමේ ගැසට් පත‍්‍රය සම්බන්ධයෙන් ද මාධ්‍ය මෙහිදී ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. එහිදී කියා සිටියේ අදාළ ගැසට් පත්‍රය සකස් කර ජනාධිපතිවරයාට අත්සන් කිරීම සඳහා යොමු කර ඇති බවයි. අදාළ අත්සන් කිරීමෙන් පසු දුම්රිය අත්‍යවශ්‍ය සේවාවාක් බවට පත්වෙන බවත් ඉන්පසු වර්ජනයේ යෙදුන හොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළා.

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවාක් බවට පත් කළහොත් ඉන් පසුවද වැඩ වර්ජනය සිදු කරන්නේදැයි දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්නගෙන් මාධ්‍ය විමසීමක් කළා. එහිදී අදාළ ගැසට් පත්‍රය නිකුත් වූ පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි සඳහන් කෙරුණේ.

දෛනිකව දුම්රිය සිය ගමනාගමන අවශ්‍යතා සපුරා ගන්නා මගීන් සංඛ්‍යාව ලක්ෂ 04කට අධිකයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *