බලය බෙදීම ගැන කථා කරලා ඇගේ බෝම්බ කෑලි තිබෙන එකම පුද්ගලයා මමයි-රාජිත

ඉතා මිල අධික පිළිකා ඖෂධ අඩු මිලට ලබාගැනීමේ තීරණය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය. ඇතුලු නිලධාරීන්ට කොමිසන් සභා හමුවේ සාක්ෂි දීමට සිදුව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රුපියල් කෝටි 20 ක මුදලක් වැය කරමින් මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද “සුරක්ෂා ළමා සෙවන” ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (13) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

“බස්නාහිර පළාත් ආණ්ඩුකාර තුමා මෙම ස්ථානයේ දී බලය බෙදීම ගැන කථා කළා. බලය බෙදීම ගැන කථා කරලා ඇගේ බෝම්බ කෑලි තිබෙන එකම පුද්ගලයා මමයි. සිංහල හා ද්‍රවිඩ අන්තවාදීන්ගෙන් බෝම්බ ප්‍රහාර එල්ල වුනා. නමුත් මගේ ගමන කටින් ගහලා හෝ නතර කරන්න බැරි වුනා.

බලය බෙදුවට දේශපාලන යථාර්තයක් තිබෙනවා. ජර්මනියේ, ඇමරිකාවේ බලය බෙදන අයුරින් ශ්‍රී ලංකාවේ බලය බෙදන්න බැහැ. දේශපාලන තීන්දු අරගෙන නිලධාරීන්ට උපදෙස් ලබාදිය යුතුයි. සෞඛ්‍ය සේවාවේ ගැටලුවක් ඇති වුවහොත් ජනතාව මධ්‍යම රජයේ ද, පළාත් සභා වල ද කියා බලන්නේ නැහැ.

මම 2015 වසරේ සිට මේ දක්වා පළාත් සභා රෝහල් සංවර්ධනය කිරීමට විශාල මුදලක් වැය කර තිබෙනවා. දඹුල්ල රජමහා විහාරස්ථානය නව දඹුල්ල රෝහල ඉදිකිරිම සදහා ඉඩම ලබාදුන්නා.

යාපනයේ ළමා රෝහල ඉදිකිරීම සදහා ඉඩම ලබාදුන්නේ කතෝලික පල්ලිය විසින්. ඒවාටත් විරෝධතා තිබෙනවා. මම මේ වනවිට රුපියල් කෝටි 55,000 ක පමණ සංවර්ධන ව්‍යාපෘති සෞඛ්‍ය සේවාව තුල දියත් කර තිබෙනවා. පළාත් සභා වලට බලය බෙදුවට කමක් නැහැ.

මම සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවේ දී මට බැන්න අයත් අද සිංගප්පූරුවෙන් ප්‍රතිකාර ලබා ගන්නවා. මිනිසා කැමැති තැනකින් ප්‍රතිකාර ලබාගැනීම ඔහුගේ අයිතියක්.

සෞඛ්‍ය සේවාව පළාත් සභා වලට විමධ්‍යගත කිරීම තුලින් එය සංවර්ධනය නොකරන්නේ නම් අධ්‍යාපනය කඩාකප්පල් වූ ආකාරයට සෞඛ්‍ය සේවාවත් කඩාකප්පල් වෙනවා. අපි පළාත් සභා රෝහල් සංවර්ධනය කළ පසු ඒවා පාලනය කිරීමට පළාත් සභා වලට අමාරුයි. විදේශීය රටවල නම් රෝහල් සංවර්ධනයට මුදල් ලබාදෙන්නේ නැහැ.

පෞද්ගලික අංශයේ රෝහල්වල රක්ෂණය මගින් ප්‍රතිකාර ලබාගත යුතුයි. පිළිකා ඖෂධ වෙළෙද පොළේ ඒකාධිකාරය බිද දැමීම නිසා මට විරෝධතා එල්ල වුනා. සමාගම්වල මුදල් වලට මට බනිනවා.

සමාගම්වල අධික ලාභයට විරුද්ධව වැඩ කරන කොටත් විරෝධතා එල්ල වෙනවා. අපි යහපාලනය නිසා ප්‍රචාරක කටයුතු වලට මුදල් වැය කළේ නැහැ. එය වැරදි තීරණයක්. වත්මන් රජයේත් වැරදි තිබෙනවා.

නමුත් නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීම තුලින් අහිංසක ජනතාව සතුටට පත් වෙනවා. අද පෝස්ටර් ඔසවාගෙන සිටින අයගෙන් කී දෙනෙකුට පුළුවන්ද හාද රෝගයක් ඇති වුවහොත් ස්ටෙන්ස් සැත්කම සදහා ලක්ෂ තුනහමාරක් වැය කරන්න. අපි ඖෂධ ජාවාරමත් නතර කළා.”

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *