ශ්‍රිලනිප හා පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු තේරිම් කාරක සභා වර්ජනය කළා – හකීම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටු පක්ෂයේ ඉල්ලීම මත පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද පාර්ලිමේන්තු. තේරීම් කාරක සභාවක් පත් කළත් අවසානයේදී එම පක්ෂ දෙක එම සභාව වර්ජනය කළ බවත් මෙම කමිටුව ඉතාමත්ම විශ්වාසදායක මත කුමන තීන්දුවක් ලබා දුන්න ද එය විවේචනය වීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

ඊයේ (11) ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

විපක්ෂය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය හැර සෙසු පක්ෂ මෙම කමිටුව වර්ජනය කළා. පාර්ලිමේන්තුවේ බහුතරයක් සහිතවයි මෙම කමිටුව පත් කළේ. ඒකමතික තීරණයක් මත කාරක සභාව පත් කිරීමේ තීන්දුව ගෙන ඇති බැවින් එය වෙනස් කිරීම විධායකයට ගැටලුවක්.

නමුත් ඉකුත්දින කමිටුව රැස්වීම තුළින් විධායකයට අවනත නොවී ව්‍යවස්ථාදායකය ක්‍රියාකරන බව දැකිය හැකියි.

විධායකය වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ව්‍යවස්ථාදායකය වන කථානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් යම් එකඟතාවකට පැමිණෙනු ඇතැයි අප විශ්වාස කරනවා. අතීතයේදී ද විධායකය හා ව්‍යවස්ථාදායකය අතර මෙවැනි යම් යම් ගැටලු පැවතුණා. නමුත් අවසානයේදී ව්‍යවස්ථානුකූල ක්‍රියාවලිය ඉදිරියට පැමිණෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

යළි අමාත්‍යධූර ලබා ගන්නා ලෙස මහා නායක හිමිවරුන් කළ ඉල්ලීමට ගරු කරන නමුත් සාමුහිකව ගත් තීරණය එක්වරම වෙනස් කිරීම දෝෂාරෝපණයට ලක් විය හැකි බැවින් ඉදිරියේදී සාකච්ඡා කොට තීරණයට පැමිණෙන බව හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *