රෝයිගේ පිතිහරඹය එංගලන්තයට ජය ගෙනෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාඩිෆ්හි සොපියා උද්‍යාන ක්‍රීඩාංගණයේදී ඊයේ (8 වැනිදා) පැවැති 12 වැනි තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 106 ක ජයක් හිමිකර ගැනීමට එංගලන්තය සමත්විය. ඒ අනුව ප්‍රසාද ලකුණු 4 ක් හිමිකරගෙන ඇති එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළ පැමිණියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 387 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට ඕවර 48.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 280 ක් පමණි. හුදකලා සටනක නිරතවූ සකීබ් අල් හසන් ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.සකීබ් අල් හසන් පන්දු 119 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 121 ක් රැස්කිරීමට සමත්විය.

මුෂ්ෆිකූර් රහීම් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 102 කදී ලකුණු 106 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සකීබ් අල් හසන් සමත්විය. මුෂ්ෆිකූර් රහීම් පන්දු 50 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 44 ක් ලබාගත්තේය.

බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර් කඩුලු 3 බැගින්ද මාක් වුඞ් කඩුලු 2 ක් ද දවාගනිමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ජේසන් රෝයි (153) සහ ජොනී බෙයාස්ට්‍රෝ (51) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කදී ගොඩනැගූ ලකුණු 128 ක සම්බන්ධතාව හේතුවෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 386 ක් ලබාගත්තේය.
පන්දු 121 කදී සිය 8 වැනි එක්දින ශතකය ලබාගත් රෝයි හයේ පහර 5 කින් සහ හතරේ පහර 14 කින් එය අලංකාර කළේය. පන්දු 50 කදී වාර්තා වූ බෙයාස්ට්‍රෝගේ 10 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 10 කින් සමන්විත විය. බෙයාස්ට්‍රොගේ දැවී යෑමෙන් අනතුරුව ජෝ රූට් (21) සමග එක්වූ රෝයි, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබා සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ජොස් බට්ලර්, වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 44 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 64 ක් රැස්කළේය. නායක ඔයින් මෝගන් (35) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 85 කදී ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත මැද පෙළ ශක්තිමත් කිරීමටද බට්ලර් සමත් විය.

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ලයෑම් ප්ලන්කට් පන්දු 9 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 27 ක්ද, ක්‍රිස් වෝක්ස් පන්දු 8 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 18 ක්ද රැස්කරමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව 380 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

එංගලන්තය – ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 386

(ජේසන් රෝයී 153, ජොනී බෙයාර්ස්ටෝ 51, ජෝ රූට් 21, ජොස් බට්ලර් 64, ඔයින් මෝගන් 35, ලයම් ප්ලන්කට් නොදැවී 27, මෙහෙදි හසන් 67/2, මොහොමඩ් සයිෆුඩින් 78/21)

බංග්ලාදේශය – ඕවර 48.5 කදී සියලුදෙනා දැවී 280

(සකීබ් අල් හසන් 121, මුෂ්ෆිකූර් රහීම් 44, මහමුදුල්ලා 28, මොසැඩැක් හුසේන් 26, බෙන් ස්ටෝක්ස් 23/3, ජොෆ්රා ආචර් 29/3, මාක් වුඞ් 52/2)

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *