වොෂින්ටනයේදී නිරාවරණ වූ ආම්ස්ට්‍රෝංග් ප්‍රතිමාව

සඳ මත පා තැබූ පළමු මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝංගේ ප්‍රතිමාවක් අමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී පසුගියදා නිරාවරණ කෙරුණි.

ඒ ඔහු සඳ මත පා තබා වසර පනහක් ගතවීම නිමිති කරගෙනයි.

ඇපලෝ එකොළහ මෙහෙයුම සඳහා සහභාගී වූ අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයෙන් සැරසුණු නීල් ආම්ස්ට්‍රෝංගේ ප්‍රතිමාව ඉදි කර තිබෙන්නේ වොෂිංටනයේ ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේයි.

එම ප්‍රතිමාව නීල් ආම්ස්ට්‍රෝංගේ ජීවමාන ප්‍රමාණයටම ඉදිකර තිබීමත් විශේෂත්වයකි.

එය ජූලි මස 16වන දා තෙක් ප්‍රදර්ශනය කෙරෙන බවද විදෙස් වාර්තා සඳහන් කළේය.

ඇපලෝ 11 අජටාකාශ යානය මඟින් සඳ වෙත ගිය නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ තරණය කොට එළඹෙන 20 දිනට වසර 50ක් සපිරෙන අතර ඊට සමගාමීව මෙම ප්‍රතිමාව නිරාවරණය කෙරුණි.

ඔවුන් එහි පැය 21යි විනාඩි 36ක් ගත කොට නැවත පෘථීවියට පැමිණියේ සඳ තරණය කළ ප්‍රථම ජාතිය වීමේ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ සිහිනය සැබෑ කරමිනි.

1969 වසරේ ජුලි 16 වන දා කැනවරල් තුඩුවෙන් උඩු ගුවනට ගිය ඇපලෝ 11 ගගනගාමීන්ට මයිකල් කොලින්ස් ද ඇතුළත් වුණි.

කෙසේ වෙතත් සඳ මත පා තැබූ පළමු මිනිසා වීමේ ගෞරවය හිමිවන්නේ නීල් ආම්ස්ට්‍රෝංටයි.

මෙය මිනිසෙකුගේ එක් කුඩා පියවරක් වුවත් මිනිස් සංහතියේ දැවැන්ත පිම්මක් ලෙස නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පා තබා සිදුකළ උදාන ප්‍රකාශය අදත් ප්‍රසිද්ධියක් උසුලයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *