ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. එය එදා මෙදා තුර ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පිරිනැමෙන ඉහළම ත්‍යාග මුදල ලෙස හැදින්වේ. මෙය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 70 ක් පමණ මුදලකි.

අවසන් වරට 2015 වසරේදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වූ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට හිමිවූ ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3.75 ක් විය. ඒ අනුව මෙවර තරගාවලියේදී ජයග්‍රාහී ත්‍යාග තවත් මුදල ඇමරිකානු ඩොලර් 250,000 කින් වැඩි වී තිබේ.

මෙවර තරගාවලිය පුරා කණ්ඩායම් අතර බෙදා දීමට නියමිත මුළු ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් වන අතර එහිදී අනු ශූරතාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2 ක්ද, අවසන් පූර්ව තරගවලදී පරාජය වන කණ්ඩායම් සඳහා ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 8 ක් බැගින්ද මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.

කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් 9 සමගින් ලීග් ක්‍රමයට අනුව තරග වදිනු ඇත. ඒ අනුව මූලික වටයේදී තරග 45 පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග 2 සහ අවසන් මහ තරගයද සමගින් එහිදී පැවැත්වෙන මුළු තරග සංඛ්‍යාව 48 කි.

තරගාවලියේ එකම තරගයක් හෝ ජයගැනීමට අපොහොසත් වන කණ්ඩායමකට ඩොලර් ලක්‍ෂයක් (රුපියල් ලක්‍ෂ 175 ක්) හිමිවේ. ඊට අමතරව මූලික වටයේ තරගයක් ජයගන්නා සෑම කණ්ඩායමකටම ඩොලර් 40,000 ක් (රුපියල් ලක්‍ෂ 70 ක්) බැගින් ත්‍යාග මුදල් හිමිවේ.

මෙවර තරගාවලිය මැයි මස 30 වැනිදා සිට ජූලි මස 14 වැනිදා දක්වා දින 46 ක් පුරා ස්ථාන 11 කදී පැවැත්වේ. තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් සත්කාරක එංගලන්තය කණ්ඩායම මැයි මස 30 වැනිදා දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හිමිවන මුදල් ත්‍යාග

■ ශූරයන් සඳහා – ඇමරිකානු ඩොලර් මිලියන 4 ක්
■ අනු ශූරයන් සඳහා – ඇමරිකානු ඩොලර් මිලියන 2 ක්
■ අවසන් පූර්ව තරගවලදී පරාජය වන කණ්ඩායම් සඳහා – ඇමරිකානු ඩොලර් 800,000 ක් බැගින් (මුළු මුදල – ඇමරිකානු ඩොලර් 1,600,000 ක්)
■ මූලික වටයේ තරග ජය ගන්නා කණ්ඩායම් සඳහා – ඇමරිකානු ඩොලර් 40,000 ක් බැගින් (මුළු මුදල – ඇමරිකානු ඩොලර් 1,800,000 ක්)
■ මූලික වටයෙන් ඉවත්වන කණ්ඩායම් සඳහා – ඇමරිකානු ඩොලර් 100,000 ක් බැගින් (මුළු මුදල – ඇමරිකානු ඩොලර් 600,000 ක්)

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *