මක්කම දිසාවට හැරිලා දවසට පස් වතාවක් වඳින්න-ශ්‍රී ලාංකිකයෝ වෙලා දෙපයින් හිටගන්න

ආගම තිබෙන්නේ මිනිසුන්ගේ සදාචාරය, ආර්ථිකය, සමාජ විනය ගොඩනැගීම සඳහා මිස ආගමික. උන්මත්තකයන් බිහි කිරීමට නොවන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කර සිටියි.

ඒ මහතා මෙම අදහස් පළකර සිටියේ අද (16) දින සූරියවැව සතිපොළ ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සුඛිත පුරවර වැඩසටහනට අනුව රුපියල් ලක්ෂ 1000ක වියදමින් නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා පූර්ණ අධික්‍ෂණය යටතේ මෙය ඉදිකර ඇත.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපි මතක තියා ගන්න ඕනේ අද මේ අන්තර්ජාතික ත‍්‍රස්තවාදය දිව යන්නේ අන්තර් ජාලයෙන්. ෆේස් බුක් එකෙන් එහෙමත් නැත්නම් අන්තර්ජාලයේ වෙනත් උපකරණ හරහා. අපිට අලුත් නීති අවශ්‍යයි. විශේෂයෙන්ම මේ ත‍්‍රස්තවාදය මැඩලීම සඳහා නව නීති සම්පාදනය තමයි අපේ පාර්ලිමේන්තුවේ පළවෙනි කාර්ය භාරය විය යුත්තේ.

ඒ සඳහා තමයි පක්ෂ පාඨ බේදයකින් තොරව අපි සියළු දෙනාම ඇප කැප විය යුත්තේ. ඒ වගේම අපේ මුස්ලිම් ජනතාවටත් වගකීමක් තිබෙනවා. මොකද මේ පසුගිය දශකයක දෙකක කාලය තුළ මුස්ලිම් ජනතාවගේ ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය වෙනුවට අපට පෙනුනේ ඇතැම් පිරිසක් උත්සාහ කරනවා අරාබි අනන්‍යතාවයක් මේ රටේ ඇති කරන්න. සිංහල දෙමළ භාෂාව ඉගෙන ගන්නවා වෙනුවට අරාබි ඉගෙන ගන්න. ඒ වගේම අරාබියේ තිබෙන ඇඳුම් පැළඳුම්, සංස්කෘතික ඇවතුම් පැවතුම් අපේ රටට ගේන්න.

ඒ වගේම අධ්‍යාපන ආයතන මද්‍රසා විශ්ව විද්‍යාල හරහා වෙනම ලෝකයක් ඒ මුස්ලිම් තරුණ තරුණියන්ට දෙන්නේ. ඒ නිසා තමයි හම්බන්තොට ප‍්‍රදේශයෙත් පුහුණු කඳවුරක් තියලා ත‍්‍රස්තවාදයට පිරිස බඳවාගන්න ඒ අන්තවාදීන් කටයුතු කර තිබෙනවා කියා වාර්තා වී තිබෙනවා.

අපි මුස්ලිම් ජනතාවගේ මුස්ලිම් අනන්‍යතාවය පිළිගන්න ගමන් මක්කම දිසාවට හැරිලා පස් වතාවක් දවසට වඳින්න හැබැයි ශ‍්‍රී ලාංකිකයෝ වෙලා ශ‍්‍රී ලංකාව තුළ දෙපයින් හිට ගන්න කියලා අපි මතක් කරනවා.

අපි පළමුව ශ‍්‍රී ලාංකිකයෝ විය යුතුයි. අපිත් මේ බෞද්ධයෝ කියලා පාලි භාෂාවෙන් සූරිය වැව බෝඩ් ගහන්න ගියොත් මොකද වෙන්නේ. අපේ ළමයි අපි පාසල් යවන්නේ නැතිව, ඉංජිනේරුවෝ, වෛද්‍යවරු බිහිකරනවා වෙනුවට ආගමික අධ්‍යාපනය පමණක් දෙන්න දවස් හතම වැඩ කළොත් මොකද වෙන්නේ.

මේ රටේ එවැනි උන්මත්තකයින්ට ඉඩක් අපි දිය යුතු නැහැ. ආගම තිබෙන්නේ මිනිසුන්ගේ සදාචාරය ගොඩනගන්න. ආර්ථිකය, සමාජ විනය ගොඩනගන්න මිසක් ඔලූවල උන්මත්තකයෝ හදන්න නෙමෙයි කියන එක අපි මතක තබා ගත යුතුයි.” යනුවෙන් ප්‍රකාශ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *