’ජනපති තවම මුකුත් කියලා නෑ’

සිය ධූර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්නේද නැද්ද යන්න ගැන ජනාධිපතිවරයා. මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කර නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ ද මෙතෙක් ඒ සම්බන්ධ නිල සාකච්ඡාවක් පවත්වා නැතැයි ශාන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය අවුරුදු 5ක් බව තීරණය වූයේ 19 වැනි ආණ්ඩුක‍්‍රම සංශෝධනය අනුව බැවින් එම වසර පහක කාලය ගණනය කිරීම ආරම්භ වන දිනය සම්බන්ධයෙන් පක්‍ෂය තුළ මෙන්ම සමාජය තුළ ද කතාබහක් ඇතිවී ඇතැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්නේද නැද්ද යන්න ජනාධිපතිවරයා තීරණය කරනු ඇතැයි ද ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙරට ඉතිහාසයේ තමන්ගේ බලය අත්හැරි එකම නායකයා වන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා බව කී මන්ත‍්‍රීවරයා පක්‍ෂයේ බොහෝ දෙනාගේ විශ්වාසය ජනාධිපතිවරයා තමන්ට හිමි ධූර කාලය සම්පූර්ණ කරනු ඇතැයි යන්න බව ද කීවේය.

එක්සත් ජාතික පක්‍ෂය 19 වැනි සංශෝධනය සම්මත කිරීම ගැන කවර දේ ප‍්‍රකාශ කළද එය සම්මත කිරීමේදී එම පක්‍ෂයෙන් එයට ලැබුණේ ඡන්ද 43ක් පමණක් බව කී ශාන්ත බණ්ඩාර මහතා උදෑසන සිට පාර්ලිමේන්තුවේ සිටිමින් එය සම්මත කරගැනීම සඳහා ඡන්ද 215ක් ලබාගත්තේ ජනාධිපතිවරයා බව ද ස ඳහන් කළේය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව තීරණයක් ගන්නේ නම් තමන් එයට කැමති බව ජනාධිපතිවරයා මෑතකදීත් පාර්ලිමේන්තුවේදී කී බව පැවසූ මන්ත‍්‍රීවරයා එලෙස විධායකය අහෝසි කරන්නේ නම් 13 වැනි සංශෝධනය ද සංශෝධනය විය යුතු බව ප‍්‍රකාශ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *