විදුහල්පති මාරුවට එරෙහිව රාජකීය ගේමක්

එකම පාසලක වසර අටකට වඩා වැඩි කාලයක් සේවය කළ විදුහල්පතිවරුන් මාරු කිරීමටත් වසර ගණනාවක් තිස්සේ ජාතික පාසල් 302 පැවති විදුහල්පති පුරප්පාඩු සපුරාලීම සඳහාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින මොහොතක ඊට එරෙහිව සංවිධානාත්මක ලෙස පහර එල්ල කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එහි ආසන්නතම සිදුවන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා මාරු කර සුදුසුකම් රහිත විදුහල්පතිවරයෙකු ඒ සඳහා පත් කිරීමට පියවර ගන්නා බවට පවසමින් සමාජ තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ සහ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අදාල අනුමැතිය සහ ලකුණු ලබා දීමේ ක්‍රමවේදය සඳහා ද අනුමැතිය ලබා ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය වසරේ දී විදුහල්පතිවරුන් පත්කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කර තිබුණා.කෙසේ වෙතත් එම සම්මුඛ පරීක්ෂණ අවසානයේ ලබාගත් ප්‍රතිඵල සහ විදුහල්පතිවරුන්ගේ ලේඛන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.නමුත් රාජ්‍යසේවා කොමිෂන් සභාව ඒ සඳහා මෙතෙක් අනුමැතිය ලබා දී නැහැ.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ගිය මෙම වැඩසටහනට මුල සිටම බාධා එල්ල වී තිබුණා.ඒ ඇතැම් ජනප්‍රිය ජාතික පාසල්වල විදුහල්පතිවරුන් සහ ඊට සම්බන්ධ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ වෙනත් කණ්ඩායම් ද ඊට ඈඳා ගනිමින්.

දීර්ඝ කාලයක් එකම පාසලක කටයුතු කළ ඇතැම් විදුහල්පතිවරු සහ ගුරුවරුන් එම පාසල් තුළ ගොඩනගාගෙන ඇති ආධිපත්‍ය බලය පාසලේ උන්නතිය වෙනුවෙන් නොව දූෂණ අක්‍රමිකතා නඩත්තු කිරීම සඳහා යොදා ගන්නා බවට ද බරපතල චෝදනා එල්ල වී තිබෙනවා.එමෙන්ම එවැනි චෝදනා තහවුරු වූ අවස්ථා ද රැසක් අධ්‍යාපන පද්ධතියෙන් වාර්තා වුණා.

අධ්‍යාපන අමාත්‍යාංශය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කරන ලද විදුහල්පතිවරුන්ගේ පත් කිරීමට මාරු කිරීමට අදාළ අවසන් ලේඛනයට ද මේ දක්වා එම කොමිසමේ අනුමැතිය හිමි වී නොමැති වටපිටාවක මෙම වැඩසටහන නතර කර දැමීම සඳහා සූක්ෂම කුමන්ත්‍රණයක් දියත් වන බව පැහැදිලි වී තිබෙනවා.

කුමන්ත්‍රණකරුවන් ඒ සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ද සම්බන්ධ කරගැනීමට උත්සාහ දරන බවටද තොරතුරු වාර්තා වන අතර ඇතැම් අවස්ථාවලදී රාජ්‍ය සේවා කොම්ෂන් සභාවටද බලපෑම් කරන බවට කරුණු වාර්තා වනවා.

මෙහි තවත් එක් පියවරක් ලෙස සූක්ෂම අයුරින් කණ්ඩායමක් කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා එළඹෙන සඳුදා දිනයේදී ඉවත්කොට ඒ වෙනුවට ආධුනික විදුහල්පතිවරයෙකු පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගන්නා ආරංචි මාර්ග පතුරමින් සිටින බවයි වාර්තාවන්නේ.

මෙම කරුණ මතු කරමින් සමාජය තුල විශාල කතිකාවක් නිර්මාණය කොට සමස්ථ විදුහල්පතිවරුන්ගේ මාරු වැඩසටහන අක්‍රීය කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් දියත් වන බවට පැහැදිලි කරුණු මේවන විටත් අණාවරණය වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ මාණ්ඩලික නිලධාරීන් දෙදෙනෙකුගෙන් තහවුරු කර ගැනීමට අපට හැකි වුණා.ඔවුන් පවසන්නේ කොළඹ රාජකීය විද්‍යාලය වැනි ජනප්‍රිය සහ ප්‍රබල ආදි ශිෂ්‍යයින් සිටින පාසලක් තුල අවුල් සහගත තත්වයක් නිර්මාණය වන බවට මතවාදයක් නිර්මාණය කිරීම හරහා එය සමාජයේ ප්‍රබල හඬක් ලෙස ඉස්මතු කිරීමේ වැඩි හැකියාවක් ඇති බවට කුමන්ත්‍රණකරුවන් විශ්වාස කරන බවයි.⁣ඒ හරහා විදුහල්පතිවරුන් පත්කිරීමේ සහ මාරු කිරීමේ සමස්ථ වැඩසටහනම කඩාකප්පල් කිරීම මෙම කණ්ඩායමේ අරමුණ වී තිබෙනවා.

එකම පාසලේ දස වසරකට වඩා සේවය කළ ගුරුවරුන් මාරු කිරීමේදී ඊට එරෙහිවූ අගනුවර ජනප්‍රිය බෞද්ධ පාසල් දෙකක ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් තම පාසල් වලට මුස්ලිම් ගුරුවරුන් මාරු කර එවා ඇති බවට අසත්‍ය තොරතුරු සමාජගත කරමින් තම මාරුවීම් අත්හිටුවා ගැනීමට පාසල් ප්‍රජාව නොමඟ යවමින් උත්සාහ දැරූ අන්දමේම වැඩ පිලිවෙලක් මෙහිදීද නිර්මාණය කිරීමට උත්සාහ දරන අයුරු පැහැදිලි වන බවයි එම නිලධාරීන් දෙදෙනා සඳහන් කළේ.

මෙහි ඇති අනෙක් බරපතලම කරුණ වන්නේ පසුගිය පාලන සමයේ විවිධ දේශපාලන හිතවත්කම් මත ජනප්‍රියතම ජාතික පාසල්වල විදුහල්පති ධූරයන්ට පත්කරන ලද විදුහල්පතිවරුන් විසින් පාසල් තුළ මුදා හරින,තම තම දේශපාලන කඳවුරු වලට වාසිදායක මතවාදයන් අහිමි වේය යන අදහසින් යුතුව විපක්ෂයට සම්බන්ධ ඇතැම් දේශපාලකයින් ද මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වී සිටීමයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *