පාසල් සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් හෙළ බොජුන් හල්

ඉදිරියේදී පාසල් තුළ හෙළ බොජුන් හල් ඉදිකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නිවැරදි ආහාර රටාවකින් තොරවීම හේතුවෙන් දරුවන්ගේ සෞඛ්‍ය ගැටලු ප්‍රමාණාත්මකව වර්ධනය වීමෙන් බෝ නොවන රෝග සඳහා ගොදුරු විමට ඇති ඉඩකඩ වැඩිවීම අවම කිරීමට මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය,සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) රැස්වූ අවස්ථාවේදී මේ තිරණය ගත් බව සඳහන් කළේය.

බෝ නොවන රෝග හේතුවෙන් දිනකට පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත්,ඊට ප්‍රධානතම හේතුව වශයෙන් නිවැරදි ආහාර රටාවක් අනුගමනය නොකිරීම බවත් ඔවුහු සඳහන් කළේය.

දරුවන්ගේ ස්ථූලභාවය අවම කිරීම සඳහා පලතුරු මෙන්ම එළවළු පරිභෝජනය ඉහළ දැමිම මෙහි අරමුණයි.

පාසල් තුළ ඉදිකරනු ලබන හෙළ බොජුන් හල්හි ආහාර නියාමනය පාසල් තුළ පිහිටවනු ලබන ආහාර කමිටු හරහා සිදු වේ.

ඒක පුද්ගල දෛනික එළවළු පරිභෝජනය ග්‍රෑම් 440ක් වුවද එය ග්‍රෑම් 200ට සීමා වි ඇති බවත්, පුද්ගලයින් තිදෙනෙකු ගත් විට එක් පුද්ගලයෙකු ස්ථූලතාවයෙන් පෙළෙන බව කමිටුව අමාත්‍යවරයාට පැවසිය.

මේ හේතුවෙන් පුද්ගලයින් සිවුදෙනෙකුගෙන් එක් අයෙකු අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව ද සඳහන් කළේය.

බොහෝ දරුවන් පාසලට පැමිණෙන්නේ උදෑසන ආහාරය නොගැනීමෙන් බවත්,මෙම හෙළ බොජුන් හල් මඟින් දරුවන්ට එළවළු පලතුරු පරිභෝජනය වර්ධනය කර සෞඛ්‍යාරක්ෂිත ජීවන රටාවකට හුරු කිරීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණකි.

ආහාර අලෙවිය සඳහා පළ කරනු ලබන දැන්වීම් වෙනුවෙන් දරුවන් යොදා ගැනීම තහනම් බවද කමිටුව මෙහිදි අවධාරණය කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *