ඉන්ධන මිල වැඩිවීම නොදැනුනත් බස් සංගම් අලුත් ප්‍රශ්නයක් මතු කරයි

මාසිකව සලකා බැලෙන මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල ඊයේ (12) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩි කෙරුණා.

ඒ, ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 03කින්, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 07කින්, ඔටෝ ඞීසල් ලීටරයක් රුපියලකින් සහ සුපිරි ඞීසල් ලීටරයක් රුපියල් 08කින් වන පරිදියි.

මෙම මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 132ක් වනවා. ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් දැන් අලෙවි කෙරෙන්නේ රුපියල් 159කටයි.

ඔටෝ් ඞීසල් ලීටරයක නව මිල රුපියල් 104ක් ද සුපිරි ඞීසල් ලීටරයක නව මිල රුපියල් 134ක් ද වනවා.

මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉකුත් සමයේ වැඩි වූ බවයි. එහෙත් එහි සම්පූර්ණ බර ජනතාවට ලබා නොදුන් බවද සාමාන්‍යයෙන් භාවිත කෙරෙන ඉන්ධන වර්ගවල මිල වැඩි කෙරුණේ සංකේතාත්මකව ඉතා අඩු ප‍්‍රමාණයකින් බවද අමාත්‍යවරයා පැවසුවා.

ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩි කෙරුණද බස් ගාස්තු කෙරෙහි එහි බලපෑමක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එසේවුවත් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් පවතින පරස්පරතා මෙම ඉන්ධන මිල සංශෝධනයෙන් ද නැවත කියාපාන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ “ඩීසල් මිල රුපියලක් වැඩි වුණාට බස් කර්මාන්තයට ඒක බලපෑමක් ඇති කරන්නේ නෑ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය තමයි..ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් අධික ලෙස මිල වැඩි කරලා තියෙනවා. එහෙත් ඒක තමයි පරිභෝජනයට සුදුසු ඉන්ධන වර්ගය.” යනුවෙනි.

ආණ්ඩුව හරිත ආර්ථිකයක් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන බැවින් පරිභෝජනයට සුදුසු ඉන්ධන වර්ග භාවිත කිරීමට ජනතාව උනන්දු කරවිය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එසේ තිබියදී ඊයේ රාත‍්‍රියේ සිදු කෙරුණු මිල සංශෝධනයෙන් ද ජනතාව දිරි ගන්වා ඇත්තේ පරිසර හිතකාමී නොවන ඉන්ධන භාවිතයට බවයි ගැමුණු විජේරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මෙම කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී ලිඛිතව ආණ්ඩුව දැනුවත් කරන බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *