මහනුවර – ගැටඹේ වාහන ධාවනය පෙර පරිදී

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර සිට ගැටඹේ දක්වා කොටසේ ධාවනය වන වාහන පැරණි ක්‍රමයටම ධාවය කිරීමට සලස්වන ලෙස මහනුවර මහ නගරාධිපති කේසර සේනානායක මහතා ලිපියකින් ඊයේ (07) මධ්‍යම පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීවරුන්ට දැනුම් දී තිබේ.

මහනුවර සිට ගැටඹේ දක්වා එක් දිශාවකට පමණක් වාහන ධාවනය කරවීමට ගෙන ඇති තීරණය නිසා ජනතාවට ඇති වි ඇති අපහසුතාවය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරු 22 නෙකුගේ අත්සනින් යුත් ලිපි මගින් මේ සම්බන්ධව තීරණයක් ගන්නා ලෙසද අනිකුත් මන්ත්‍රීවරුන් මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ලබන 12 වැනිදාට මහා සභාවක් කැඳවන ලෙසද තමාට දැනුම් දුන් බව මහනුවර මහ නගරාධිපති කේසර සේනානායක මහතා පැවැසිය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ තීරණයක් මත ක්‍රියාත්මක කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර සිට ගැටඹේ දක්වා කොටස එක් දිශාවකට පමණක් වාහන ධාවනය කරවීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් ජනතාව විරෝධතා දක්වන බවත්

නව සැලැස්ම හේතුවෙන් පාසල් දරුදැරියන් මහත් අසීරුතාවට පත්වන බවත් ඔවුන්ට ගමනා ගමන පහසුකම් ලබා ගැනීමට සහ පාසල් සඳහා පැමිණීමට දුම්රිය මාර්ගය ඔස්සේ පවා පාර මාරු වීමට සිදුවන බවත් වාහන අධික වේගයෙන් ගමන් කරවීම නිසා පදිකයන්ගේ ජීවිත අනතුරුදායක තත්ත්වයට පත්වන බවද නගරාධිපතිවරයා පැවැසීය.

මෙම වාහන ගමනා ගමනයේ නව සැලැස්ම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන ඇත්තේ අදාළ නිලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර එම නිලධාරීන්ගේ නිර්දේශ අනුව මෙම වැඩපිළිවෙළ සුදුසු බව එහිදී තීරණය වී ඇති බව කී පුරපතිවරයා ජනතාව තමන් වෙත එල්ල කරන ලද විරෝධතා පිළිබඳව ආණ්ඩුකාරවරයා අවස්ථා කිහිපයකදී දැනුවත් කළ බවද ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු නොමැති අවස්ථාවක පළාතේ බලධාරියා වන්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වන බැවින් ඔහු ගත් තීරණයකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් මහනුවර මහනගර සභාව ජනතාවගේ විරෝධතාවයන් නිසා මේ නව ක්‍රියා මාර්ගයට වෙනස් කළ යුතුව ඇතැයි ද මහනුවර පුරපති කේසර සේනානායක මහතා ප්‍රකාශ කළේය.

මේ අයුරින් දිගින් දිගටම සිදුවන විරෝධතා අතරේ මහනුවර මහනගර සභාවේ විශේෂ මහා රැස්වීමක් ලබන 12 වැනිදා කැඳවන බවත් එම රැස්වීමේදී නව රථවාහන සැලැස්ම පිළිබඳව තීන්දුවක් ගන්නා බව පුරපති කේසර සේනානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *