රජයේ සියලු දෑ සිදුවන්නේ ඩොලර් කාක්කන්ට අවශ්‍ය විදියටයි’

ව්‍යවස්ථාදායක සභාව සහ කොමිෂන් සභා ඇතුළු රජයේ සියලු කටයුතු සිදුවන්නේ උපන් බිමේ උරුමකරුවන්ට. ගැලපෙන ලෙස නොව බටහිර ඩොලර් කාක්කන්ට උවමනා අන්දමින් යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

රජයේ පැවැත්ම සීඝ්‍රයෙන් ගෙවී යන බවත් පහනක් නිවෙන්නට යද්දී දැල්ල වැඩියෙන් නටනවා, යන යකා කොරහත් බිඳගෙන යනවා වැනි කියමන් කියන්නේ මේ වැනි තත්ත්වයන් ගැන බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් රැස්වීම්වලදී පවා නොයෙක් ආකාරයේ වංචා දූෂණ සිදුවන බවත් කී මන්ත‍්‍රීවරයා නීත්‍යානකුකූල නොවන කැබිනට් පත‍්‍රිකා අනුමත කිරීම් ද දකින්නට ඇතැයි පැවසීය.

නීත්‍යානුකූල නොවන කැබිනට් පත‍්‍රිකා සම්මත කරගෙන ටෙන්ඩර් ප‍්‍රදානය කරන කැබිනට් මණ්ඩලයක් බවට මෙම කැබිනට් මණ්ඩලය පත්ව ඇතැයි පැවසූ ගුණවර්ධන මහතා විශාල වශයෙන් ජාත්‍යන්තර වශයෙන් පවා අපකීර්තියට මුහුණදෙන්නට සිදුවෙනු ඇතැයි ද කීය.

කෙරවලපිටිය එල් එන් ජී බලාගාරය පිළිබඳ කැබිනට් පත‍්‍රිකාව මෙවැනි එකක් බවත් විදුලි බල මණ්ඩල පනතේ 43 වගන්තිය උල්ලංඝණය කරමින් එකිනෙකට වෙනස් මිල ගණන් දෙකක් යටතේ එක් විදුලි බලාගාරයක් වෙනුවට බලාගාර දෙකක් ඉදිකිරීමට ටෙන්ඩරය දිනා ගත් පාර්ශවයට හා පරාජය වූ පාර්ශවය යන දෙකටම ඉතිහාසයේ පළමු වතාවට ටෙන්ඩරයක් ප‍්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ගෙන ඇති බව ද මන්ත‍්‍රීවරයා හෙළි කළේය.

මෙම කැබිනට් පත‍්‍රිකා ආන්දෝලනයට පත් ව ඇති බැවින් ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කරන ලෙස ජනාධිපතිතුමන් ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ පුංචි බොරැල්ල වජිරාශ‍්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *