මහින්දානන්දගේ නඩුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා කරුණු අධ්‍යයනය කරමින් සිටින බව අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

එම පැමිණිල්ල අද(12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි.

එහි ප්‍රගතිය පිළිබඳ කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන මෙන් ද අල්ලස් කොමිසමේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

මෙම නඩුව දිගින් දිගටම ප්‍රමාද වන තත්ත්වයක් දක්නට ලැබෙන බව සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම කටයුතුවල ප්‍රගතිය අප්‍රේල් මස 30 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමේ නීතිඥවරයාට නියම කළේය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ දිවයිනපුරා ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීම සඳහා කැරම්බෝඩ් සහ දාම් ලෑලි මිලදී ගැනීම තුළින් රුපියල් කෝටි පහකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *