IOC ඉන්ධන මිල සිපෙට්කෝ මිලට සමාන කිරීමට සාකච්ඡාවක්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන හල්වලින් අලෙවි කරන ඉන්ධන, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන හල්වලින් අලෙවි කරන ඉන්ධන මිල හා සමාන කිරීමේ සාකච්ඡාවක් ඊයේ (24දා) ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්වූ බව එම අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ සාකච්ඡාව පැවැත්වී තිබේ.

අද වනවිට අයි.ඕ.සී. සමාගම සිපෙට්කෝ මිලට වඩා රුපියල් 8ක වැඩි මිලකට ඉන්ධන අලෙවි කිරීම සිදු කරයි. මේ හේතුවෙන් අයි.ඕසී. සමාගම් ව්‍යාපාරය මූල්‍ය වශයෙන් පරිහානියට පත්ව ඇතැයිද එහි විකිණුම් ප්‍රමාණය 75%කින් පහළ බැස ඇතැයිද එම සමාගම හා සම්බන්ධ පිරිස් මෙහිදී කරුණු පැහැදිලි කර තිබේ.

එසේම පාරිභෝගික පනත පවා උල්ලංඝනය කරමින් නිෂ්පාදන පාරිභෝගිකයාට අලෙවි කරන ලෙස බෙදුම්කරුවන් හට බලපෑම් සිදුවන බවත්, ලංකා අයි.ඕ.සී. සමාගම ශ්‍රී ලංකා රජය අතර 2003 දී ඇති කරගත් ගිවිසුමට හා 2008 දී සංශෝධිත ගිවිසුමට පරිබාහිරව කටයුතු කරන බවටත් මෙහිදී චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අයි.ඕ.සී. සමාගමේ ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අමාත්‍යවරිය තීරණය කළ බවත් මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කළ යුතු බවද පවසා සිටි බව අමාත්‍යාංශය වැඩි දුරටත් පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *