ජනපති පත්වී වසර 4 යි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වී අදට(08) වසර 4ක් සපිරෙයි.

ඒ නිමිත්තෙන් ඊයේ(07) සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක් ජනාධිපති කාර්යාලයේදි පැවැත්වු අතර අද උදෑසන මහා සංඝරත්නය සඳහා දානය පිරිනැමීම ද සිදුකිරීමට නියමිතයි.

ජනපති පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් දිවයින පුරා විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

මේ අතර කළුඟග ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍යය සහ මොරගහකන්ද කළුගග ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරාදීම අද සිදුකිරීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මෙම උත්සවය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෛත්‍රී පාලනයක්, තිරසර යුගයක්, ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබේ.

නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පුර්ණ නව ලග්ගල නගරය දශක හතරකට පසු මෙරට ඉදිකළ විශාලතම බහුකාර්යය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද කළුගග මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ප්‍රතිඵලයකි.

මොරගහකන්ද කළුගග ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළුගග ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට කළුගග ජලාශයට නොදුරුව නව ලග්ගල නගරය ඉදිකර තිබේ.

අනාගත අවශ්‍යතාවන් සලකා බලමින් සහ නව නාගරික සංකල්පය වන උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 4500ක ආයෝජනයක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

ලග්ගල නව නගරයේ රාජ්‍ය ආයතන 26ක් සඳහා ගොඩනැඟිලි ඉදිකර ඇති අතර මහජන සේවා සපයන එම ආයතන සියල්ල එකිනෙකට පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට සැලසුම් කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ඉදිකෙරුණු ලග්ගල නව රෝහල ජනතා අයිතියට පවරාදීම සහ ලග්ගල ද්විතීක පාසල සිසු අයිතියට පවරාදීම දඅද ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරනායක මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියස දී මහා සංඝරත්නය ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිළිරුවට පුෂ්පෝපහාර දැක්විමට නියමිතයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *