ජනතාවගේ ආර්ථිකයට වෙන්න යන දේ ගැන ආර්ථික විශ්ලේශකයන් අනතුරු අඟවයි

පවතින දේශපාලන වියවුල් හේතුවෙන් ජාතික ආර්ථිකය තවදුරටත් කඩා වැටෙමින් ඇතැයි ආර්ථික. හා දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

එහෙත් වගකිව යුතු කිසිවෙකුගේ හෝ අවධානය ද ඒ කෙරෙහි යොමු නොවන බවයි ඔවුන් පැවසුවේ.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ පෙන්වා දෙන්නේ,

“විදේශ ආයෝජන, විදේශ ප්‍රදානයන්, විදේශ ණය, සංචාරකයින්ගේ පැමිණීම ආදී මේ සේරම නතර වෙලා තියෙන්නේ. කොටස් වෙළඳපොළත් බිඳවැටිලා තියෙන්නේ. මේ වෙන කොට අයවැය ලේඛණයක් සම්මත වෙලා නෑ. ජනවාරි මාසයේ රජයේ වියදම පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙනවා. මේ විදිහේ බරපතල ආර්ථික අර්බුදයක තමයි රට තියෙන්නේ. මේ සියල්ලම බල ලෝභය නිසා ඇති වෙච්ච තත්ත්වයක්.” යනුවෙනි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය සුරංග සිල්වා ද මේ පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා. ඔහු පෙන්වා දුන්නේ ඇති වී තිබෙන අස්ථාවරත්වය තවදුරටත් පැවතියහොත් ඉදිරියේදී තව තවත් පීඩනයට ලක්වීමට රට වැසියන්ට සිදුවනු ඇති බවයි.

එහිදී “පුද්ගලයෙකුට හෝ ආයතනයකට පවා පෞද්ගලික ආර්ථික සැලැස්මක් හදා ගන්න බැරි ව්‍යාකූල තත්ත්වයක තමයි රට දැන් තියෙන්නේ. නිෂ්පාදකයාට, බෙදා හරීන්නාට, පාරිභෝගිකයාට මේ සියල්ලටම මේක බලපාලා තියෙනවා. .” යනුවෙනි.

පවතින දේශපාලන වියවුල් සතියක් ඇතුළත අවසන් කරන බවට ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සතුටු වන බවද, සත්‍ය වශයෙන්ම එය සිදු වනු ඇති බවට අපේක්ෂා කරන බවද ආචාර්ය සුරංග සිල්වා කියා සිටියා. කෙසේවෙතත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ පැවසුවේ මෙම දේශපාලන වියවුල් අවසන් කිරීමට නම් කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *