ට්‍රම්ප්-පුටින් හමුව අවලංගු වන ලකුණු

රුසියානු ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවලංගු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියාව අනුගමනය කරන ක්‍රියා පිළිවෙතට විරෝධය පල කරමින් රුසියානු ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවලංගු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ආර්ජන්ටිනාවේ පැවැත්වෙන ජී.20 සමුළුව අතරතුර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදුවීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් රුසියාව විසින් යුක්‍රේන යාත්‍රා 03 ක් සිය භාරයට ගැනීමට ගත් පියවර හේතුවෙන් අදාල හමුව අවලංගු කිරීමට තමන්ට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් තමන් ඉල්ලා ඇති බව ද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

රුසියාව ගත් අදාල ක්‍රියාමාර්ගය ආක්‍රමණශීලී ක්‍රියාවක් ලෙස යුක්‍රේනය හඳුන්වා දී ඇති නමුත් මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් එම යාත්‍රා සිය භාරයට ගත් බව රුසියාව ප්‍රකාශ කර ඇත.

Sharing is caring!