Lanka Focus News

හෙට ආණ්ඩුව භාරදෙනවා නම් රට හදන්න ලෑස්තියි – අනුර

හෙට ආණ්ඩුව භාරදෙනවා නම් රට හදන්න ලෑස්තියි – අනුර

වර්තමාන පාර්ලිමේන්තුව තුළ තමන් කැමති කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමට අවස්ථාව ලබාදෙන්නේ නම් පවතින අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා ආණ්ඩුව භාර ගැනීමට ජාතික ජන බලවේගය සුදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේ ඊයේ (26) පැවති විරෝධතා රැලියකට එක්වෙමින් ඔහු ඒ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා,

“මුළු රටක් මහ ඛේදවාචකයට මුහුණදෙමින් සිටිනවා. ආණ්ඩුව කිසිදු සැලැස්මක් හෝ කිසිදු දැක්මක් සහිතව පාලනයක් කරනවා කියලා පෙනෙන්නට නැහැ. ගෝඨාභයට කොහොමත් බැහැ. එයා ගාව ළඟින් ඉන්න කෙනෙක් මට අද උදේ කථා කරලා මට කිව්වා. ඒයා හිතන් ඉන්නවාලු වෙන කවුරුහරි හිටියානම් මීටත් අප්සට්. එයා ඉන්න හින්දා මේ ගාණට බේරාගෙන ඉන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නේ හිරිවැටුණු නායකයෙක්. ඒ නායකයින්ට ජනතා වේදනාව ගැන හැඟීමක් නැහැ. ඒ නිසා කවුරුහරි හිතනවානම් IMF අපිව ගොඩ ගනී, ලෝක බැංකුව ඇවිත් අපිව ගොඩ ගනී, එහෙම වෙන්නේ නැහැ. රටක් කඩාවැටුණාම ඒ රට ගොඩනගන්නේ කවුද ? ඒ රටේ මිනිස්සු. ඒකට ජාත්‍යන්තර සහාය අතිරේකව ලබාගන්න ඕනේ. දැන් තෙල් ඇමති හිටියට ෂෙඩ්වල තෙල් නැහැ. කෘෂිකර්ම ඇමති හිටියට කුඹුරට පොහොර නැහැ. පාසල් වහනවා කියන්න අධ්‍යාපන ඇමති ඉන්නවා. මොකටද මේ ඇමතිවරු ? මෙවැනි ආණ්ඩුවකින් මේ රට ගොඩගන්න බැහැ. අපි ලෑස්තියි මේ වැඩේ ගොඩගන්න. හෙට ගෝඨාභය, රනිල් ඔයගොල්ලෝ මේක භාරදෙනවා නම් අපි ලෑස්තියි. මේ රටට හදන්නත් ලෑස්තියි. අපිට වෙනමොකුත් ඕනේ නැහැ. අපිට දෙන්න ආණ්ඩුව. මේ පාර්ලිමේන්තුව ඇතුළේ අපි කැමති කැබිනට් මණ්ඩලයක් හදන්න දෙන්න. අපිට ආණ්ඩුවක් හදාගන්න දෙනවානම් මේ ප්‍රශ්නයේ විසඳුම් ක්‍රියාමාර්ගයක්, අපේ ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන විනාශය වළක්වන ක්‍රියාමාර්ගයට මේ රට අවතීර්ණ කරන්න අපට පුළුවන්. ඒ සඳහා අපි මේක භාරගැනීමට ලෑස්ති.”

ආණ්ඩුව පන්නමු පාරට බහිමු යන මැයෙන් ජාතික ජනබලවේගය සංවිධානය කළ සංවිධානය කළ විරෝධතාවක් ඊයේ අනුරාධපුරයේදි පැවැත්වුණි.

අනුරාධපුර මාකට් හංදියෙන් ඇරඹි පාගමන අනුරාධපුරය නව බස්නැවතුම්පොළ දක්වා ගමන් කළ අතර එහිදි විරෝධතා රැලිය ආරම්භ වුණි.

administrator

Related Articles