Lanka Focus News

හිටපු ජනපති පත්කළ කොමිෂන්වලට වී ඇති දේ

හිටපු ජනපති පත්කළ කොමිෂන්වලට වී ඇති දේ

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා 10 කට ආසන්න සංඛ්‍යාවක කටයුතු අකර්මන්‍ය වී තිබේ.

කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව තුළ පවත්වාගෙන යන ශ්‍රී ලංකා රේගුවේ සිදුවූ දූෂණ හා වංචා සෙවීමේ කොමිසම, පූර්වගාමී කොමිෂන් සභාවල සහ කමිටුවල තීරණ ඇගයීම හා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන කොමිසම සහ බන්ධනාගාරවල දඬුවම් නියමවූවන් සඳහා වන කොමිසම ඇතුළු ජනාධිපති කොමිෂන් සභා ඊට අයත් වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලය තුළ පත් කළ එම කොමිෂන් සභා තවදුරටත් ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ.

ඒ නව ජනාධිපතිවරයෙකු යටතේ එම කොමිෂන් සභා තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිළිබඳවය.

පූර්වගාමී කොමිෂන් සභාවල සහ කමිටුවල තීරණ ඇගයීම හා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ කාලය ලබන සැප්තැම්බර් මස 22 වනදා දක්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දීර්ඝ කරනු ලැබීය.

එහෙත් නව ජනාධිපතිවරයෙකු යටතේ එය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් එම කොමිසමේ කටයුතු මේ වන විට නවතා දමා ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් පූර්වගාමී කොමිෂන් සභාවල සහ කමිටුවල තීරණ ඇගයීම හා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් කරුණු විමසා තිබේ.

එමෙන්ම අදාළ කොමිෂන් සභාවලට පෙර පත්කළ ජනාධිපති කොමිෂන් සභා කිහිපයකම අවසන් වාර්තා භාර දී තිබුණ ද ඒවාට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක් මෙතෙක් සිදුව නොමැති බව සඳහන් වේ.

මෙලෙස පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා හරහා විශාල මුදල් ප්‍රමාණයක් අපතේ යාමක් සිදුවන අතර ඒවායේ සාමාජිකයින්ට වැටුප් සහ දීමනා ගෙවීම, කාර්ය මණ්ඩල සඳහා වැටුප් ගෙවීම සහ කාර්යාල පවත්වාගෙන යාමට වැයවන වියදම් සඳහා විශාල මුදලක් වැය වන බව වාර්තා වේ.

administrator

Related Articles