Lanka Focus News

සරා ‘අම්මේ බත් ටිකක්’ කියලා මගේ දිහා බලපු අහිංසක බැල්ම මට කවදාවත් අමතක වෙන්නෑ

සරා ‘අම්මේ බත් ටිකක්’ කියලා මගේ දිහා බලපු අහිංසක බැල්ම මට කවදාවත් අමතක වෙන්නෑ

මේ මේ මේ මේ…
මට ඒ කතා වැඩක් නෑ…
දීපන් සල්ලි ගෙදර හාල් ඇටයක් නෑ…”
ඇතැම් රංගනයන් අමතක කළ නොහැකි තරම් ප්‍රේක්ෂක හදවතට හරිම සමීපයි. සරාගේ අම්මත් ඒ වගේමයි. ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ප්‍රේක්ෂක ඔබ ආදරය කරන චරිත අතර ඇය අපට අමතක කළ නොහැකි චරිතයකි. 
බොහොම සැරපරුෂ හිතේ කිසිම තෙතමනයක් නැති සරාගේ අම්මා ඇත්තටම නපුරු ද? අනේ නැහැ. ඇය මේ රංගන ක්ෂේත්‍රයේ නිහතමානී, සුහදශීලි, මානව දයාවෙන් පිරිපුන් සුන්දර කාන්තාවක්. ඇය තමයි ප්‍රවීණ රංගන ශිල්පිනී රූපා පතිරණ. කලා ක්ෂේත්‍රය තුළ තරු කුමරි, හිරු අවර, වෙද හාමුදුරුවෝ, ගිම්හාන තරණය, චක්‍ර, බණ්ඩාර දෙයියෝ, උත්තම පුරුෂ, ගල් පිළිම සහ බොල් පිළිම වැනි ටෙලි නිර්මාණයන් තුළින් නිළියක් ලෙස ප්‍රේක්ෂක ජනාදරයට පත්වූ ඇය වේදිකාවේ ද අතිදක්ෂ නාට්‍ය ශිල්පිනියකි. බොහොම කාලෙකට පස්සේ සරාගේ අම්මාගේ චරිතය සමග ඇයට ලැබෙන ඉහළ ප්‍රතිචාර එක්ක අද කතාබහ තුළින් ඇයව මුණගැහෙන්න හිතුවා. 

• ඉතින් රූපා අක්කා කොහොම ද ජීවිතේ?

“ජීවිතේ කියන්න තරම් වරදක් නැහැ. බොහොම සතුටෙන් ගත කරනවා කියන්නත් බැහැ අපේ රට මුහුණ දීලා තියෙන කොරෝනා ව්‍යසනයත් එක්ක. පරිස්සමත් එක්ක බොහොම කල්පනාවෙන් බයෙන් ජීවත් වෙන්න වෙලා තියෙන කාලයක්. ඉක්මනින් මගේ රට, මගේ රටේ මිනිස්සුන්ව මේ ව්‍යසනයෙන් බේරා දෙන්න කියන එක තමයි නිතරම මම ප්‍රාර්ථනා කරන්නේ.” 

• මේ තරම් සුන්දර මානව හිතවාදී කාන්තාවක් අර තරම් දරුණු වුණේ කොහොම ද? 

“ඇත්තටම නාඩගම්කාරයෝ කියන්නේ මගේ නාට්‍ය ජීවිතේ ආයෙම ඉපදුණා වගේ හැඟීමක් ආපු නිර්මාණයක්. සැරපරුෂ, වයසක චරිත මට හුරු පුරුදු චරිත. ඒත් ඇත්තටම ජීවිතේ මම කවදාවත් සැරපරුෂ, කෙනකුගේ හිත රිද්දලා කතා කරන කෙනෙක් නෙමෙයි. සරාගේ අම්මාගේ චරිතය එක්ක හැමෝම අහනවා ‘අනේ ඔයා ඒ තරමටම සැර ද’ කියලා. අනේ ඉතින් මම ඒ තරමට සැර නැහැ. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරාගේ අම්මාගේ චරිතයට මට ශිවගුරුනාදන් මහත්තයා කතා කළාම මම හිතුවේ සාමාන්‍ය අම්මා කෙනකුගේ චරිතයක් කියලා. සද්දාමංගල මහත්තයාගේ පිටපත අතට දීලා ශිවගුරුනාදන් මහත්තයා මේ චරිතය ගැන මට ලොකු විස්තරයක් කිව්වා. ‘සරාගේ අම්මා කියන්නේ බොහොම පීඩනයෙන් ඉන්න කාන්තාවක්. සරාගේ තාත්තට රස්සාවක් නැහැ. දුව බැඳලා ඉන්න මනුස්සයාගේ කකුල් කපලා, එයාට ආදායමක් නැහැ. සරාගේ අම්මා කියන්නේ හැම වෙලාවෙම පීඩනයෙන් ජීවත් වෙන චරිතයක්’ කියලා ඔහු පිටපත අතට දුන්නේ. හැබැයි සරාගේ අම්මාට බැණුම්වලින් හරි මේ තරම් ප්‍රතිචාරයක් ලැබේවි කියලා මම ජීවිතේට හිතුවේ නැහැ.” 

• වැඩිපුරම සරාගේ අම්මාට ප්‍රතිචාර ලැබෙන්නේ බැණුම්වලින් නේද?

“නැතුව… බැණුම්වලින්ම තමයි ප්‍රතිචාර වැඩි. මට බණින ඒවා ගැන මට දුකක් නැහැ. මොකද ප්‍රේක්ෂකයන් බණින්නේ මම ඒ චරිතය සාර්ථකව කරන නිසානේ. බැණුම්වලින් පේන්නෙත් ප්‍රේක්ෂක ආදරය තමයි. ඇත්තට ප්‍රේක්ෂකයෝ වැඩියෙන්ම අකැමැති චරිතය තමයි සරාගේ අම්මාගේ චරිතය. විශේෂයෙන් මට මේ චරිතය දුන්නාට නාඩගම්කාරයෝ අධ්‍යක්ෂ ශිවගුරුනාදන් මහතා සහ පිටපත් රචක සද්ධා මංගල මහත්තයාට ස්තුති කරනවා.” 

• සරාගේ අම්මාට හිත උණු වෙන තැන් ඇවිල්ලාම නැද්ද? 

“මොකද නැත්තේ. මට හරියට වේදිනාවක් දැනුණු තැනක් තියෙනවා. සරාගේ අම්මා කියන්නේ තෙතමනයක් පෙන්නන්නේ නැති අම්මෙක්නේ. සරා බත් ඉල්ලලා, ‘අායේ බත් නැහැ ඔච්චර කන්න දෙන්න නැහැ’ කියලා මට කියන්න තිබුණු දෙබස මම හරිම අකැමැත්තෙන් කියපු දෙයක්. සරා ‘අම්මේ බත් ටිකක්’ කියලා මගේ දිහා බලපු අහිංසක බැල්ම මට කවදාවත් අමතක වෙන්නෑ. ඒ සිද්ධිය කරලා ඉවර වුණාට පස්සේ මගේ ඇස් දෙකට ඇත්තටම කඳුළු ආවා. සරාගේ අම්මා කොච්චර නපුරු සැර වුණත් ඉස්සරහට හොඳ වේවි කියලා හිතනවා. දැන් සරාගේ අම්මට බණින අය ඉස්සරහට සරාගේ අම්මට හොඳ කියන්නත් පුළුවන්.”

• අපි කැමැතියි ඔබේ කලා ජීවිතේ අතීතයට යන්න?

“මගේ ගම අලව්ව නගරයට ආසන්න පිහිටා තිබෙන විල්ගමුව කියන ගම. මම අධ්‍යාපනය හැදෑරුවේ නාරම්මල මයුරපාද විද්‍යාලයෙන්. පාසල් කාලේ ඉඳලාම කලා හැකියාවන් මට තිබුණා. ගීත ගයන්න, කවි කියන්න හරි දක්ෂයි. මම මුලින්ම වේදිකාවට ගොඩ වෙන්නේ අවුරුදු පහේදී ගමේ නාට්‍යයක නර්තනයක් කරන්න. ඔහොම ඉන්නකොට මට ඕනෑ වුණා නාට්‍ය ගැන ඉගෙන ගන්න. සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයාගේ නාට්‍ය පාඨමාලාව හැදෑරුවාට පස්සේ එතුමාගේ ඇහැලේපොළ නාට්‍යයේ ඇහැලේපොළ කුමාරිහාමිගේ චරිතය කරන්න මට අවස්ථාව ලැබුණා. මගේ නාට්‍ය මුල් ගුරුතුමා සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයා. දෙවැනි ගුරුවරයා තමයි ජිනදාස එස්. ගමගේ මහතා. එතුමා අධ්‍යක්ෂණය කළ ගොඩක් නාට්‍යවල මම වැඩ කළා. ඒ ගුරුහරුකම් මැද්දේ තමයි මම මේ ගමන ආවේ. 
1986 ‘කෝණය’ තමයි මගේ පළමු ටෙලිනාට්‍යය. දෙවැනි නාට්‍යය තමයි ‘භවතු සබ්බ මංගලම්’ කියන නාට්‍යය. භවතු සබ්බ මංගලම් නාට්‍යයේ මගේ පෙම්වතාට රඟපෑවේ ජැක්සන් ඇන්තනී මහත්තයා. අද අවුරුදු 35කට පස්සේ ජැක්සන් මහත්යාගේ පුතාගේ මව වෙන්න ලැබුණ එක ගැන මට හරිම සතුටුයි.” 

• වසර 37ක කලා ජීවිතේ ගැන අද මොකද හිතෙන්නේ?

“මේ ගමන එන්න මම ගොඩක් දුක් විඳලා තියෙනවා. ඒ දුෂ්කරතා විඳගෙන මම ආවේ රංගනයට තිබුණු ආශාව නිසාමයි. මට එදා ඉඳලා අද වෙනකම් හොඳ අධ්‍යක්ෂවරු ලැබිලා තියෙනවා. ඒ වගේම මම කරපු චරිතයන්ට සම්මාන ලැබිලා තියෙනවා. ඒ සම්මානයන්ට වඩා අදටත් ජනතාවගේ හදවතේ සම්මානය, ගෞරවය මට ගොඩක් වටිනවා. මම කලාව තුළ ඉපදෙන්නේ වේදිකාවෙන්. අදටත් මගේ ජීවය තියෙන්නේ වේදිකාවේ. ටෙලිනාට්‍ය එක්ක වේදිකාව යම් යම් අවස්ථාවලදී මගඇරුණත් වේදිකාව අතහැරලා නැහැ. 
පොඩි දුකක් තියෙනවා. මට රඟපාන්න පුළුවන් ලොකු පරාසයක් තියෙනවා. ඒ පරාසය අධ්‍යක්ෂවරු අඳුර ගන්නේ නැති එක ගැන දුකක් තියෙනවා. මම අවුරුදු 22දීත් රඟපෑවේ අවුරුදු 78-80 වයසක චරිත. පෙම්වතිය වෙන්න ලැබුණේ එක අවස්ථාවයි. අනිත් හැම චරිතයක්ම මම නිරූපණය කරලා තියෙන්නේ වයසක චරිත. මම වයසක චරිත කරන්න හරි කැමැතියි. හැබැයි එකම චරිතයට කොටු වෙන්න සිදුවෙලා තියෙන එක ගැන දුකයි. 

කොළඹ එන්නවත් දන්නේ නැති ඒ කාලේ මගේ සැමියා තිස්ස ජයන්ත, ඔහුත් කලාකරුවෙක්, ඔහු තමයි මේ ගමන එන්න මට ලොකු ශක්තියක් වුණේ. මට දුවලා තුන්දෙනෙක් ඉන්නවා. දුවලා තුන්දෙනාත් කලාවට ගොඩක් දක්ෂයි. අවුරුදු 37ක් පුරාවට මට කලාවේ රැඳෙන්න නිර්මාණ ලබාදුන්, විවිධ අවස්ථා ලබාදුන් සියලුම දෙනාට හෘදයාංගම ස්තුතිය මම පුද කරනවා.” 

• ඔබ හැමදාමත් වැඩ කළා. හැබැයි ප්‍රේක්ෂකයන් අතර ඔබ නිශ්ශබ්දයි. ඇයි ඒ?

“ඇත්තටම මම හැමදාමත් වැඩ කළා. කලාවට ආපු දවසේ ඉඳලා දැන් අවුරුදු 39ක කාලය තුළ මම නිකන් ඉඳලාම නැහැ. හැමදාම වැඩ කළා. හැබැයි අප ගැන කවුරුත් කතා කළේ නැහැ. ඒ ගැන ලොකු දුකක් තියෙනවා.” 

• මොනවා ද අලුත් කලා කටයුතු? 

“මේ දිනවල ‘නාඩගම්කාරයෝ’, ‘සලකුණ’, ‘පියාපත්’, චන්දන ඉරුගල් බණ්ඩාරගේ ‘වියළි’ කියන ටෙලිනාට්‍යවල වැඩ කරගෙන යනවා. ඉදිරියට තවත් නිර්මාණ කිහිපයක් ලැබිලා තියෙනවා.”

නදීශා අතුකෝරළ

administrator

    Related Articles

    Close
    shares